Saturday, April 20, 2024

General line - 0115112241

නාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට සිටියදී ඔහු සිදුකරමින් සිටි විමර්ශනයක් ගැන අධිකරණයේදී හෙළිවෙයි

අධිකරණ වාර්තාකරු




ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවධියේදී ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කිරීමට කුමන්ත‍්‍රණය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ බව නාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අද (21) අධිකරණය හමුවේ අනාවරණය කරනු ලැබුවා.

නීතිඥ අජිත් පතිරණ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් අද මේ බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත දන්වා සිටියා .

ඒ අනුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට 2018 වර්ෂයේ අධිකරණයෙන් රතු නිවේදන ලබා ගැනීමටද තම සේවාදායකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසට සිටියදී  කටයුතු කළ බවත් ජාතික තව්හීත් ජමාත් සංගමයේ නායක සහරාන් හෂීම් හා සම්බන්ධ අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී අධිකරණ තුනක කරුණු වාර්තා කිරීමට නාලක සිල්වා කටයුතු කර ඇති බව අජිත් පතිරණ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා .

පරීක්ෂණවල උච්චතම අවස්ථාවකදී තම සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබූ බවයි මෙහිදී නීතිඥ අජිත් පතිරණ වැඩිදුරටත් අධිකරණය හමුවේ දන්වා සිටියේ.