Thursday, April 25, 2024

General line - 0115112241

බදුර්දින්ට එරෙහි විශ්වාසභංග යෝජනාව මුලින් විවාදයට ගත යුතුයි - මහාචාර්ය ජි.එල්.පිරිස්

කසුන් කැළුම් / මහේෂ් චතුරංග / කමල් සුරවීර




ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ විශ්වාසභංග යෝජනාව සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගොනු කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳව ද අද (21) ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ මෙම විශ්වාසභංග යෝජනා 02න් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව පළමුවෙන් විවාදයට ගතයුතු බවයි. ඒකාබද්ධ විපක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසුවා. 

මහනුවර අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පැවසුවේ ආණ්ඩුවට එරෙහිව ජනතා විමක්ති පෙරමුණ ගොනු කළ විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඒකාබද්ධ විපක්ෂය කිසිසේත් සහය නොදැක්විය යුතු බවයි. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව මෙම විශ්වාසභංගය ගොනු කර ඇත්තේ ආණ්ඩුව පරාජය කිරීමට නොව ආණ්ඩුව ආරක්ෂා කිරීමට බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වු මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද මීට සමාන අදහසක් පළ කළා.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණ තමන්ට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දැක්වූවා. මේ, එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක. 

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තේ තනි තනි පුද්ගලයින් නොව සමස්ත ආණ්ඩුව බවද ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගොනු කළේ ඒ අනුව බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා. 

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගොනු කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත අද පෙරවරුවේ භාරදුන්නා. අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගොනු කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදුන්නේ ඉකුත් 16 වනදායි.