Friday, April 19, 2024

General line - 0115112241

සැකකරුවන් 80යි - 79ක් අත්අඩංගුවේ - අගමැතිගේ තොරතුරු කිරිඇල්ල පාර්ලිමේන්තුවට කියයි

සමන්ත කුමාර




පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හඳුනාගත් සැකකරුවන් 80 දෙනෙකු සිටින බවද ඔවුන්ගෙන් 79 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අද (21) කියා සිටියා. ඒ අනුව තවදුරටත් අත්අඩංගුවට ගැනීමට සිටින්නේ හඳුනාගත් මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු පමණක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අරලියගහ මන්දිරයේ ඊයේ (20) පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා කළ දැනුම්දීමක් අනුව තමන් මෙම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී කියා සිටියා. 

මේ අතර ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු භාෂා පරිවර්තක නිලධාරියා ආරක්ෂක අංශ විසින් අද පාර්ලිමේන්තුවට රැගෙන ආ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සමන්ත කුමාර පවසන්නේ. සැකකරුගේ පෙන්වාදීම යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ඔහුගේ කාර්යාලය පරීක්ෂා කෙරුණු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මෙම සිද්ධිය ද පාදක කර ගනිමින් පාර්ලිමේන්තුවේ අද අවධානය යොමු වූ ප්‍රධාන කරුණක් වුයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාගෙන් ඒ පිළිබඳ කරුණු විමසීමක් කළා. 

මෙම විමසීමට පිළිතුරු දුන් කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කළේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් ඉතා ඕනෑකමින් සොයා බලන බවයි. ඒ පිළිබඳ වාර්තා තමන් වෙත ලැබෙන බවද කථානායකවරයා කියා සිටියා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ද මෙහිදී අදහස් දැක්වූවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද මෙම සංවාදයට එක්වුණා. 

මේ අතර අමෙරිකාව සමඟ අත්සන් තබා ඇති ගිවිසුම් සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී අද සංවාද ඇති වුණා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ විමල් වීරවංශ මන්ත්‍රීවරයයි. 

මෙම විමසීමට සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රතිචාර දැක්වූවා.