Friday, April 26, 2024

General line - 0115112241

මේජර් ජනරාල් ජානක පෙරේරාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

උපාලි ආනන්ද




මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට අද (21) ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් සහ වසර 60ක සිර දඬුවමක් නියම කෙරුණා. මෙලෙස දඬුවම් නියම කෙරුණේ නඩුවේ දෙවන විත්තිකරු වන උමාර් හබ්තාබ් නමැත්තාටයි. 

මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 48ක් ගොනුකර තිබූ අතර ඒවායෙන් 31කට ඔහු වරදකරු බව නඩුවේදී තීන්දු කෙරුණා. පළමු, දෙවන සහ තුන්වන චෝදනා සඳහා විත්තිකරුට වසර 20 බැගින් වෙන් වෙන්ව ගෙවීයන පරිදි වසර 60ක සිර දඬුවමක් නියම කරන බවයි අධිකරණය පැවසුවේ. 04 සිට 31 දක්වා චෝදනා සඳහා විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණා. සෙසු චෝදනා සම්බන්ධයෙන් මෙම විත්තිකරු නිවැරදිකරු බවයි අධිකරණය තීන්දු කළේ. 

විත්තිකරුගේ සියලු දේපල රාජසන්තක කිරීමට ද එල් ටී ටී ඊ නායකයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් ඔහුට ත්‍යාග ලෙස ලබාදී තිබූ වටිනා අත් ඔරලෝසුවක්, සයනයිට් කරල සහ කමිසයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ස්ථාපිත කෙරෙන කෞතුකාගාරයට භාරදීමට ද මෙහිදී නියෝග කෙරුණා. 

මෙම නඩුවේ වරද පිළිගත් තවත් විත්තිකරුවෙකුට මීට පෙර බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. චෝදනා ලබා සිටි සෙසු සැකකරුවන් 09 දෙනෙකු ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් සියලු චෝදනාවලින් නිදහස් කර මුදා හැරුණා. නඩුව විභාගයට ගැණුනේ අනුරාධපුර මහාධිකරණයේදීයි.