Thursday, April 25, 2024

General line - 0115112241

ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමකදී බදියුදීන් සම්බන්ධයෙන් එකඟතාවයක්

දිල්ශාන් තුෂාර




විශ්වාසභංග යෝජනාවෙන් තමන්ට නගා ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් වරදකරු වුවහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට රිෂාඞ් බදියුදීන් එකඟ වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පැවසුවේ ඊයේ (21) පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක දී මෙම එකඟතාව ඇති වූ බවයි.

චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී එහෙත් අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්නොවුණහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට ද මෙහිදී සාකච්ඡා වූ බව බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා. 

අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු විය යුත්තේ කෙසේදැයි ද ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම ඊයේ සාකච්ඡා කළ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී එක්සත් ජාතික පක්ෂය ගනු ලබන ස්ථාවරය කුමක්දැයි අමාත්‍ය නවීන් දිසානායකගෙන් ද මාධ්‍යවේදීන් ඊයේ ප‍්‍රශ්න කළා. එහිදී ඔහු කියා සිටියේ "රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉතාමත් සංවේදී විදිහට කතා කළා මේ ගැන. මම හිතන්නේ.. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාම එතුමට සහයෝගය ලබා දෙනවා. එයාට විරුද්ධව කිසිම දෙයක් සොයාගෙන නෑ. වැරද්දක් කරලා නැති පුද්ගලයෙක් පිටිපස්සේ යෑම සාධාරණ නෑ." යනුවෙනි.

මේ අතර ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම හැකිතාක් කල් දැමීමට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට ඊයේ ගෙන ආ යෝජනාවකින් ද එය තහවුරු වූ බවයි මන්ත‍්‍රීවරයා පැවසුවේ. 

විශ්වාසභංග යෝජනාව කල් දැමීමට ආණ්ඩුව උත්සහ කළද අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන් විකල්ප පියවර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී කටයුතු කරන බවද දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.