Friday, March 29, 2024

General line - 0115112241

පොදුජන බලවේගයක් අවශ්‍ය බව සිවිල් සංවිධාන කියයි

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර




අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අන්තවාදී සෙසු කණ්ඩායම් සැබෑ ලෙස පරාජය කළ හැක්කේ දේශපාලනික ක‍්‍රියාකාරකම්වලින් නොව සිවිල් පොදුජන බලවේගයකින් බව සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ දේශපාලන වේදිකාවේ රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඇති විරෝධය සැබෑ එකක් නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ද අමාත්‍ය රිෂාඞ් බදියුදීන් රැක ගැනීම සඳහා වූ උවමනාවක් බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ බව පෙන්වා දුන්නා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් ද විමසීමක් කළා. ඔවුන් ද පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව තිබියදී ආණ්ඩුවට එරෙහිව තවත් විශ්වාසභංගයක් ගෙන ඒමේ සැබෑ අවශ්‍යතාවක් නොමැති බවයි. ඒ අනුව ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව ආණ්ඩු විරෝධයක් නොව ආණ්ඩුව ආරක්ෂා කිරීමට දරණ උත්සහයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු, නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මේ බව සඳහන් කළා. 

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ආ ඒකාබද්ධ විපක්ෂය ද පවසන්නේ එම විශ්වාසභංග යෝජනාව අසාර්ථක කිරීමේ අදහසින් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ඇති බවයි. කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ එම විශ්වාසභංග යෝජනාවට ද සහය දැක්වීමට තමන් කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පැවසුවා.