Wednesday, April 24, 2024

General line - 0115112241

මානව සම්පත් හිඟය සෞඛ්‍ය සේවාවට අභියෝගයක් - ඇමැති රාජිත ලෝක සෞඛ්‍ය සංවිධාන සමුළුවේ දී කියයි




ශ්‍රී ලංකාව තුල නොමිලේ සෞඛ්‍ය සේවාවන් ඉටු කිරීමේ දී මානව සම්පත් හිඟය ප්‍රධාන අභියෝගයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 72 වන වාර්ෂික සමුළුව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (21) මේ බව පැවසීය.

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මෙම සමුළුවට සාමාජික රටවල් 194 ක් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය බලධාරීන් සහභාගි වී සිටියහ. 
 
එහිදී සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය මත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා. විශ්වීය සෞඛ්‍ය රැකවරණය කේන්ද්‍ර කර ගනිමින් පස් අවුරුදු ජාතික සැළැස්මක් යටතේ සෞඛ්‍ය සේවාවන් ඉටු කරන අතර, පළාත් සභා මට්ටමින් ද සැළසුම් සකස් කර තිබෙනවා. එම සැළසුම් ක්‍රියාත්මක කිරීම සදහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහයෝගය ලබාදෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික සහයෝගය මත අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ඉටු කරන අතර, බෝ නොවන රෝග වළක්වා ගැනීම සදහා දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එහිදී සුවදිවි මධ්‍යස්ථාන 846 ක් සහ සුවනාරි මධ්‍යස්ථාන 906 ක් ස්ථාපිත කර ජනතාවගේ රෝග ලක්ෂණ පරීක්ෂාවට ලක් කරනවා.”

“දුම්කොළ භාවිතය අවම කිරිම සදහා සියයට 90 ක් බදු පැනවීම, තනි දුම්වැටි අලෙවිය තහනම් කිරිම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ගැනීම නිසා දුම්පානය අවම වී තිබෙනවා. පැණිබීම සහ ඝණ සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති අතර, සීනි, ලුණූ සහ මේද භාවිතය අවම කිරීමට ද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන අතර, බහුලව භාවිතා කරන ඖෂධ සදහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ඖෂධ වලින් 16 ක් බෝනොවන රෝග සදහා භාවිතා කරන ඖෂධ වනවා. හෘද රෝග සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, අක්ෂි කාච නොමිලේ ලබාදීම, පිළිකා ඖෂධ ලබාදීම, අවයව බද්ධ කිරීම, ඇටමිදුලු බද්ධ කිරීම වැනි සෞඛ්‍ය සේවාවන් නොමිලේ රෝහල් වල සිදු කරන අතර, රසායනාගාර පහසුකම් ද වැඩිදියුණු කර තිබෙනවා.

“මෙවැනි සේවාවන් ඉටු කිරීමේ දී අභියෝග රැසකට ද මුහුණදීමට අපට සිදුව තිබෙනවා. මානව සම්පත හිඟය ප්‍රධාන අභියෝගයක්. සුදුසු පුද්ගලයින් බදවා ගැනීම පමණක් නොව ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරිමත් වඩා වැදගත් වෙනවා. වෛද්‍ය සේවා, අතුරුවෛද්‍ය සේවා සදහා විධිමත් පුහුණුවක් ලබාදෙන අතර, නව වෛද්‍ය පීඨ 03 ක් ස්ථාපිත කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. නව හෙද පීඨය තුලින් හෙද උපාධිධාරීන් 2000 ක් බිහි කරන අතර, අතුරු වෛද්‍ය සේවා සදහා ද උපාධි පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා. පවුලේ වෛද්‍යවරයා සංකල්පය ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා විධිමත් ආකාරයෙන් සිදු කිරිම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහයෝගය මම අගය කරනවා'' යනුවෙන් සඳහන් කළේය.