Saturday, April 20, 2024

General line - 0115112241

මැතිවරණ ජය ලැබූ මෝදිට, ජනපති, අගමැති, විපක්ෂ නායකගෙන් සුභ පැතුම්

හේමන්ත කහවලගේ/පවිත්‍රා මදුහර්ෂනි




මහමැතිවරණ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය සුභ පැතුම් එක් කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ අග‍්‍රාමාත්‍ය මෝදිගේ පාලනය යටතේ දෙරටේ සබඳතා ශක්තිමත්ව, අඛණ්ඩව පවත්වා ගෙන යාමට  බලාපොරොත්තු වන බවයි. 

මේ අතර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද සුභාශිංසන පළ කළා. විශේෂ ලිපියක් යොමු කරමින් අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ මැතිවරණය හරහා ජනතාවගෙන් ලද සහයෙන්, ඉන්දීය ජනතාව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය පිළිඹිබු වන බවයි. 

මේ අතර නිවැරදි නායකත්වය ඔස්සේ ඉන්දියාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට සුභ පැතුම් එක් කරන බව ව්ටිවර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ප‍්‍රකාශ කළා. 

අද පස්වරුවේ නිකුත් කෙරුණු ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රතිපල අනුව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ඉන් අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 542න් ආසන 346ක බහුතර බලයක් දිනා ගත්තේ භාරතීය ජනතා පක්ෂයයි. ප‍්‍රධාන විපක්ෂය වන කොංග‍්‍රස් පක්ෂයට හිමිවූයේ ආසන 90ක් පමණයි. 

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රධානත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන්, කොංග‍්‍රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි සුබ පැතුම් එක් කළ බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.