Thursday, April 25, 2024

General line - 0115112241

"සුවිස් කුමාර්ට" පැන යන්න උදව් දුන් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට එරෙහිව නඩු පවරයි

දිනුක් හේවාවිතාරණ




යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික අතවර කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් සුවිස් කුමාර් නමැති විද්‍යා ඝාතනයේ ප්‍රධාන විත්තිකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් යාපනය හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එරෙහිව නීතීපතිවරයා යාපනය මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරනු ලැබුවා.

හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ශ්‍රී ගජන් නමැත්තකුට එරෙහිවද මෙම නඩුවෙන්ම නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා ගොනු කර ඇත.

නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ලිවේරා මහතාගේ උපදෙස් මත විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට පියවර ගත් බව ජේෂ් රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

2015 මැයි මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රජයේ සේවකයකු වන යාපනය ප්‍රදේශය බාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පත් කොට සිටියදී, 2015 මැයි මස 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක යාපනය කයිට්ස් පුංකුඩිතිව් හිදී සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය පැහැර ගෙන ගොස් දුෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු මහාලිංගම් ශෂිකුමාර් හෙවත් සුවිස් කුමාර් නමැත්තාට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට සහ ඒ සඳහා ඔහුට ආධාර අනුබල දුන් බවට ශ්‍රී ගජන් නමැත්තකුට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇත.

විද්‍යා ඝාතන සිද්ධිය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් එම සිද්ධියේ විත්තිකරුවන් නව දෙනාට එරෙහිව යාපනය හිටපු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා (සභාපති), ත්‍රීකුණාමලය හිටපු මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේමශංකර් මහතා සහ වව්නියා හිටපු මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහෙන්ද්‍රන් මහතාගෙන් සමන්විත ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පැවැත්වු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් කරමින් ඔවුන්ට මේ වන විටත් දඬුවම් නියම කොට ඇත.

ඒ සමයේදී මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පවත්වන ලද විශේෂ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව එලෙස නඩු පවරන ලදී.

යාපනය හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ සහ ශ්‍රී ගජන් නමැත්තාට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ ඔවුන්ට එරෙහිව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු සාක්කිකරුවන් 26 දෙනෙකු සහ නඩු භාන්ඩ 04ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවයි නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ.