Tuesday, April 23, 2024

General line - 0115112241

කඩා වැටුණු ව්‍යාපාරිකයන්ට සහන පැකේජයක් දෙන්නැයි විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

සමන්ත කුමාර




පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාරිකයන් සහ පුද්ගලයින් වෙනුවෙන් ආර්ථික සහන පැකේජයක් හදුන්වා දෙන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අද (24) යෝජනා කළා. විපක්ෂ නායකවරයා මෙම යෝජනාව කළේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්. 

සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන්ම ඇද වැටී තිබෙනවා. ඒ නිසා හෝටල් වලට සංචාරකයින් නොපැමිණීම නිසා ඇතැම් හෝටල් සේවකයින් පඩි රහිතව නිවාඩු යවා ඇති බවත් අවලංගු කර ඇති ගුවන් ගමන් සංඛ්‍යාව 300ක් පමණක් බවයි මෙහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ. මේ හේතුවෙන් කෘෂි කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ගේ සිට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසකයින්ට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවත් බැංකු සහ ලිසිං පහසුකම් සපයනු ලබන මුල්‍ය සමාගම් සමගද සාකච්ජා කොට විශේෂ ආර්ථික සහන පැකේජයක් එම ව්‍යාපාරිකයින්ට ලබාදීමට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පියවර ගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා.

විපක්ෂ නායකවරයාගේ මෙම ප්‍රකාශය සඳහා ආණ්ඩුව වෙනුවෙන් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රතිචාර දැක්වූවා. 

අගමැතිවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කරනු ඇති බවත්, අපනයන ඇණවුම් සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැහැ. බැංකු සහ ලිසිං පහසුකම් සම්බන්ධයෙන් අදාළ විශේෂ සහන ක්‍රමයක් මේ වන විටත් ලබාදී ඇති බව සදහන් කර සිටියා. ඒ අතර තොරන් සැදු පුද්ගලයින්ගේ ගැටළු සම්බන්ධයෙන් ද ඉල්ලීමක් සිදුකරන ලෙස මුදල් ඇමතිවරයා ඊයේ ප්‍රකාශ කල බව මෙහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කර සිටියා.

අලුතින් තෝරාගත් පිරිසකට සමෘද්ධි හිමිකම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කිරීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අද සංවාද ඇති වුණා. ඒ පිළිබඳ ප්‍රශ්න නැගුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර. 

ආණ්ඩුව වෙනුවෙන් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙයට ද අදහස් දැක්වූවා.