Thursday, April 25, 2024

General line - 0115112241

තැන තැන පිපිරීම්වලින් පසු නේපාලයේත් ආරක්ෂාව දැඩි කෙරේ

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රට පුරා කැඳවා තිබූ වැඩවර්ජනයක් හේතුවෙන් නේපාලයේ ආරක්ෂාව තරකර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ආරක්ෂක අංශ කත්මණ්ඩු අගනුවර පැය 24 පුරා ජංගම මුර සංචාරවල ද යෙදී සිටි බවයි. නේපාලයේ කත්මණ්ඩු අගනුවර ඊයේ පිපිරීම් මාලාවක් සිදුවුණා. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ කොමියුනිස්ට්වාදී කණ්ඩායමකටයි. වැඩවර්ජනය කැඳවා ඇත්තේ ද එම කණ්ඩායම විසින්.

අත්අඩංගුවේ පසුවන සිය සාමාජිකයින් පිරිසක් මුදා හැරීම සඳහා රජයට බල කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය කැඳවා තිබුණා. කත්මණ්ඩු අගනුවර පිහිටි සියලු පාසල් සහ ප්‍රධාන වෙළඳසැල් අද දිනයේ වසා තිබුණු බවයි විදෙස් වාර්තා පැවසුවේ.  
මේ අතර ඊයේ සිදුවූ පිපිරීම් මාලාවෙන් පළමු ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 05දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් මිනිත්තු කිහිපයකට පසුව අගනුවර ආසන්නයේ පිහිටි නිවසක තවත් පිපිරීමක් සිදුව තිබුණා. ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. පසුව සිදු කළ සෝදිස මෙහෙයුම්වලදී අදාළ නිවසේ තිබී සැකකටයුතු කොමියුනිස්වාදී කණ්ඩායමට අයත් අත්පත්‍රිකා තොගයක්ද ආරක්ෂක අංශ විසින් සොයා ගැනුණා.

 මෙම සිද්ධියට පැය කිහිපයකින් අනතුරුව අගනුවර ආසන්නයේ තවත් ස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ආරක්ෂක අංශ උපුටා දක්වන විදෙස් මාධ්‍ය පැවසුවේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකටයුතු කොමියුනිස්වාදී කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු අදාළ පිපිරීමෙන් තුවාල ලබා ඇති බවයි. 

මෙම සැකකටයුතු කොමියුනිස්ට්වාදී කණ්ඩායම සැලකෙන්නේ, 1999 සිට 2006 වසර දක්වා නේපාල රාජ්‍ය හමුදාව සමග සටන්වැද පසුව සාම ක්‍රියාවලියකට අනුව සිය කැරැල්ල අතහැර දැමූ මාවෝවාදී පක්ෂයෙන් බෙදී වෙන්වුණු පිරිසක් ලෙසයි.