Thursday, March 28, 2024

General line - 0115112241

ජුලි සිට විශ්‍රාමිකයින්ගේ වැටුප 2800 සහ 20000 දක්වා අතර මුදලකින් වැඩි වේ




2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. 

ඒ අනුව 2015.12.31 ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 500,000කට පමණ මෙම විශ්‍රාම වැටුප් වැඩිවීමේ වාසිය හිමි වෙනු ඇති. 

මෙසේ විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප රු. 2,800 සහ රු. 20,000 අතර මුදලකින් වැඩිවනු ඇති. 2015 දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර සේවයෙන් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපේ පැවැති විෂමතාව ඉවත් කිරීම හරහා එම විශ්‍රාමිකයන්ට සහන සැලසෙන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. 

මෙම විශ්‍රාම වැටුප් වැඩි කිරීම සඳහා හේතු වූයේ 2015 දෙසැම්බර් මස 31 වැනිදාට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් සහ 2015 න් පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් යන දෙපිරිස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ දෙකක් යටතේ විශ්‍රාම ගැන්වීමෙන් ඇතිවූ විෂමතාවය හේතුවෙනි. 2015 දෙසැම්බර් මස 31 වැනි දාට පෙර විශ්‍රාම ගිය අය සඳහා 05/2015 චක්‍රලේඛය ක්‍රියාත්මක වූ අතර ඉන් පසු විශ්‍රාම යන්නන් සඳහා ක්‍රියාත්මක වනුයේ 03/2016 චක්‍රලේඛයයි. 03/2016 යටතේ වන විශ්‍රාමිකයන් සඳහා 2020 දක්වා ක්‍රමානූකූලව වැටුප් සංශෝධන සිදු කෙරෙන අතර 2015 වැටුපට සාපේක්ෂව එම සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 2020 දී 107%කින් වැඩිවනු ඇත.

මේ අනුව, 2015.12.31 දිනට පෙර විශ්‍රාම ගිය කාර්යාල කාර්ය සහයක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 2800/=කින් පමණ ඉහළ යනු ඇති. 

කළමනාකරණ සහකාර පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයකුට රුපියල් 5,200/=ක පමණ විශ්‍රාම වැටුප් වැඩිවීමක් හිමි වනු ඇති. 

ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ විශ්‍රාම වැටුප රුපියල් 9,200/=කින් පමණ ඉහළ යන අතර විශ්‍රාමික පළමු ශ්‍රේණියේ හෙද නිලධාරී වැටුප රුපියල් 7,100/=කින් පමණ ඉහළ යනවා. 

විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ වැටුප ඉහළ යන්නේ රුපියල් 4200/=කිනි.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකුගේ විශ්‍රාම වැටුප  රුපියල් 16,000/= කින් පමණ ඉහළ යන අතර, 2015.12.31 ට ප්‍රථම විශ්‍රාම ගනු ලැබූ අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 20,000/=කින් පමණ ඉහළ යනු ඇති.