Friday, April 19, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆි ගැන නිර්වින්දන වෛද්‍යවරියක් කළ පැමිණිල්ලක් මතුවේ

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ




ආන්දෝලනයට තුඩු දී ඇති ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් මීට වසර 05කට පෙර පැමිණිලි ලැබී තිබූ බව වාර්තා වනවා.

නිර්වින්දන වෛද්‍යවරියක් විසින් ඉකුත් 2014 වසරේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරියට ඒ සම්බන්ධයෙන් වාචිකව කළ පැමිණිල්ලක් ලැබී තිබූ බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ සොයා බැලීමක දී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ එවැනි ලිඛිත පැමිණිල්ලක් සම්බන්ධයෙන් රෝහල් ලිපිගොනුවල කිසිවක් සටහන් වී නොමැති බවයි.

මීට පෙර සිටි රෝහලේ පාලනාධිකාරියට එම පැමිණිල්ල ලැබෙන්නට ඇති බවටයි පැවසෙන්නේ. 

වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් මතු වූ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු අදාළ වෛද්‍යවරිය වත්මන් පාලනාධිකාරියට තමා මීට පෙර සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර ඇති බවට වාර්තා පළ වුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.