Wednesday, April 24, 2024

General line - 0115112241

කාන්තාවක් ඝාතනයට ලක්ෂ 20ක ගාස්තුවකට එකඟ වූ ප්‍රාදේශීය සභාවක ලිපිකාරිණිය හසුවේ

ලලිත් චාමින්ද




රුපියල් ලක්‍ෂ 20 ක කොන්ත‍්‍රාත්තුවකට කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සැලසුම් කළ සැකකාරියක් ඇතුළු දෙදෙනෙකු ගාල්ල, මාගාල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් විසින් ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණේ උණුවටුන ප‍්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන කාන්තාවක්.

ඇයගේ සැමියා වෙන්ව ජීවත් වන අතර ඔහු පදිංචිව සිටින්නේ ස්වීඩනයේයි. 

ඇය ඝාතනය කිරීම සඳහා ස්වීඩනයේ පදිංචි ඇගේ සැමියා විසින් රුපියල් ලක්‍ෂ 20 ක කොන්ත‍්‍රාත්තුවක් සැකකාර කාන්තාව සහ තවත් පුද්ගලයෙකුට ලබාදී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සේවය කරන ලිපිකාරිණියක් බවයි පොලීසිය පැවසුවේ.

මෙම හෝටලය පවත්වාගෙන යන කාන්තාව තමන් ඝාතනය කිරීමට පිරිසක් සිටින බවට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ අනුව කි‍්‍රයාත්මක වූ ගාල්ල පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකාරිය සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

මෙම සැකකාරිය සහ සැකකරු අදාළ කාන්තාව මාගාල්ල ප‍්‍රදේශයට රැගෙන විත් ඇගේ ඡායාරූප ගෙන වයිබර් තාක්‍ෂණය ඔස්සේ ස්වීඩනයේ සිටින ඇගේ සැමියාට යවා ඇතැයිද පොලීසිය සඳහන් කළා.  

අත්අඩංගුවට ගැණුනු සැකකාරිය පාතාල කි‍්‍රයාවන්ට සම්බන්ධව සිට ඝාතනය කෙරුණු රත්ගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ඥාතිවරියක බවයි පරීක්‍ෂණවලදි අනාවරණ වී ඇත්තේ.