Thursday, April 25, 2024

General line - 0115112241

තේරීම් කාරක සභාව හමුවට මින් ඉදිරියට කැඳවන පුද්ගලයින් ගැන විශේෂ තීරණයක්

සජිත් තිලකරත්න/කසුන් කැළුම්




පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවන පුද්ගලයින් සම්බන්ධයෙන් මින් ඉදිරියට තීරණය කරන්නේ තමන් බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසනවා.

කමිටුවේ අනෙකුත් සාමාජිකයින් විසින් නිර්දේශ කරන නම් සළකා බලා අදාළ කැඳවීම් එම කාරක සභාවේ මූලික අරමුණුවලට ගැලපෙන්නේද නැද්ද සම්බන්ධයෙන් නිගමනය කර අවසන් තීරණය ගන්නා බවයි නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

ඉදිරියට මෙම කාරක සභාව හමුවට කැඳවීමට අවශ්‍ය පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව මේ වනවිට තමන් කමිටුවෙන් ඉල්ලා ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා නෙත් නිවුස් වෙත සදහන් කළා. 

මේ අතර ඉකුත්දා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි කැඳවීම සම්බන්ධයෙන් එම කමිටුවේ සාමාජිකයින්ගේද විරෝධතාවය එල්ල වී තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. මෙම කාරක සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ තේරීම් කාරක සභාව හමුවේ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ වර්තමාන ස්ථානාධිපතිවරයා අද කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙනු ඇති. ඊට අමතරව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ මුස්ලිම් සංවිධානයක නියෝජිතයින්ද අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා. ඔවුන්ගෙන් සාක්‍ෂි විමසීම අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවනවා.

මේ අතර අර්බුද නිමා කරමින් කැබිනට් මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

කෙසේවෙතත් තේරීම් කාරක සභාවේ කටයුතු ජාතික ආරක්‍ෂාවට හෝ ජාතික බුද්ධි සේවාවේ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්‍ෂය එකඟවීමත් සමග ජනාධිපතිවරයා මෙලෙස අද පැවැති කැබිනට් රැස්වීමට සහභාගිවී තිබෙනවා.