Thursday, April 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී තවත් සුවිශේෂී කරුණු රැසක් හෙළිවෙයි

සමන්ත කුමාර/තරංග රුක්ෂාන්/ලහිරු කපුගේ




පාස්කු ඉරිදා ත‍්‍රස්ත‍ ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කරමින් මීට පෙර ලැබී තිබූ ලිඛිත පැමිණිල්ලක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඒ, පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදීයි. එහිදී සාක්‍ෂි ලබාදුන් කාත්තන්කුඩි අල්හාජ් අබ්දුල් ජමාද් භාරයේ ලේකම් කේ. ආර්. එම්. සහ්ලාන් මවුලවි මෙම කරුණු අනාවරණ කළා.

ඔහු කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදුන්නේ සුෆී මුස්ලිම්වරුන්ගේ සංවිධානය වෙනුවෙන්.

එහිදී ලේකම්වරයා ප‍්‍රකාශ කළේ අන්තවාදයෙන් ත‍්‍රස්තවාදයට ගිය සහරාන් හෂිම් මුස්ලිම් නොවන සියළු ආගමිකයින් මරණයට පත් කළ යුතු බවට 2016 දෙසැම්බර් මාසයේදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇති බවයි.

ඒ පිළිබද තමන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයාට අමතරව අධිකරණ ඇමතිවරයා, නීතිය හා සාමය ඇමතිවරයා හා නීතිපතිවරයාට ලිඛිතව පැමිණිලි කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එහෙත් ඊට පිළිතුරු ලැබුණේ පාර්ශ්ව දෙකකින් පමණක් බවයි කාත්තන්කුඩි අල්හාජ් අබ්දුල් ජමාද් භාරයේ ලේකම් කේ. ආර්. එම්. සහ්ලාන් මවුලවි සඳහන් කළේ. අදාළ කරුණ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ අවධානයට යොමුකරන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු ලිපියෙහි දක්වා තිබුණේ යැයි ඔහු ප‍්‍රකාශ කළා. 

නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද තමාට ලිපි 3 ක් ලැබුණු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මීට අමතරව ජමෙයිතුල් උලමා සංවිධානය 1979 වසරේ මාර්තු මාසයේදී ලබාදී ඇති තීන්දුවක් සම්බන්ධයෙන්ද කාත්තන්කුඩි අල්හාජ් අබ්දුල් ජමාද් භාරයේ ලේකම් කේ. ආර්. එම්. සහ්ලාන් මවුලවි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදුන්නා. එහිදී ඔහු කියාසිටියේ මුස්ලිම් නොවන සියළු ආගමිකයින් මරණයට පත්කළ යුතු බවට ජමෙයිතුල් උලමා සංවිධානය එහිදී ලබාදුන් ‘‘හතුවා’’ තීන්දුවක සඳහන්ව ඇති බවයි.

සියළු මුස්ලිම් පල්ලිවල දැඩි මතවාදයක් ඇති බවත් එය අන්තවාදයක් නොවන බවත් ඔහු ප‍්‍රකාශ කළා. අන්තවාදයෙන් ත‍්‍රස්තවාදය ගොඩනැගීම නතර කිරිම සඳහා පුළුල් වැඩපිළිවෙලක අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන්නා. සුෆී මුස්ලිම්වරුන්ට තර්ජන ඇති බවට කාත්තන්කුඩි අල්හාජ් අබ්දුල් ජමාද් භාරයේ ලේකම් කේ. ආර්. එම්. සහ්ලාන් මවුලවි මෙහිදී සාක්‍ෂි දෙමින් සඳහන් කළේ හැඩූ කදුළින් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටි කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙලගෙදරගෙන්ද සහරාන් හෂීම්ගේ කි‍්‍රයාකාරකම් සහ සුෆී මුස්ලිම්වරුන්ට තිබූ ගැටළු සම්බන්ධයෙන් ප‍්‍රශ්න කෙරුණා. 

එහිදී ඔහු කියාසිටියේ 2017 වසරේ මාර්තු මාසයේ කාත්තන්කුඩි ප‍්‍රදේශයේ සුෆි මුස්ලිම්වරුන් හා සහරාන් අතර ගැටුමක් සිදුවූ බවයි. ඊට සම්බන්ධ පුද්ගලයින් නවයක් අත්අඩංගුවට ගත් බවද සහරාන් පලාගිය බවද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා. 

සුෆී මුස්ලිම්වරුන් එදා පැවසූ තත්ත්වයට පිළියම් සොයා තිබුණේ නම් අද දවසේ මෙවැනි විශාල අපරාධයක් සිදුවීමට ඉඩ නොතිබුණේ දැයි එහිදී ඔහුගෙන් ප‍්‍රශ්න කෙරුණා. ඇසූ ඇතැම් ප‍්‍රශ්නවලට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා නිරුත්තර වූ අයුරුද එහිදී දක්නට ලැබුණා. 

අදාළ කාලයේ නිකායන් අතර ගැටුම් තිබූ බවත් සහරාන් වඩාත් ප‍්‍රචණ්කාරීව හැසිරුණු බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.