Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුවේ පාර්ශ්වයෙන් නිල තීරණයක් නොලැබීමෙන් රටට ලැබෙන අවස්ථාවක් අහිමි වෙන්න යයි

හේමන්ත කහවලගේ




දකුණු සුඩානයේ සාම සාධක හමුදා රාජකාරි හරහා මෙරටට ලැබෙන විදේශ විනිමය අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා.

ඒ, අදාළ රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් 11දෙනෙකුගේ සේවා කාලය දීර්ඝ කරනවාද නැතහොත් ඒ වෙනුවට වෙනත් කණ්ඩායමක් යොමු කරනවාද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙතෙක් නිල තීරණයක් නොලැබීම හේතුවෙන්.

අදාළ නිලධාරීන්ගේ සේවා කාලය දීර්ඝ කරන්නැයි දකුණු සුඩානයේ සාම සාධක කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව මීට පෙර නෙත් නිවුස් අනාවරණ කළා. එම ඉල්ලීම යොමු කර ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් කාර්යාලය වෙතයි. ශ‍්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 18දෙනෙකු දැනට දකුණු සුඩානයේ සාම සාධක හමුදා රාජකාරීවල නිරත වන අතර ඉන් 11දෙනෙකුගේ සේවා කාලය ජූලි මස 01වැනිදායින් අවසන් වීමට නියමිතයි. 

කෙසේවෙතත්, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අමාත්‍යාංශයට හෝ පොලිස් මූලස්ථානයට දැනුම් දීමක් කර නොමැති බව ද මීට පෙර වාර්තා කළා. එම දැනුම් දීම සිදු කළ යුත්තේ නිව්යෝර්ක්හි සිටින එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිතයායි.