Saturday, April 20, 2024

General line - 0115112241

මිහිදන් කළ සිරුරක් දින 28ට පසු සොරාගෙන ගිහින් (PHOTOS)

කාංචන කුමාර ආරියදාස




මියගිය පුද්ගලයෙකුගේ මිහිදන් කර තිබූ සිරුරක් දින 28කට පසුව කිසිවෙකු විසින් සොරාගෙන යෑමේ සිද්ධියක් අද (24) පෙරවරුවේ වාර්තා වුණා.

ඒ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ නිකවැහැර පල්ලෙවෙල  ප්‍රදේශයෙන්.

ගලේවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත පරීක්ෂා කර බැලීමේදී ගලේවෙල පල්ලෙවෙල  ප්‍රදේශයේ මුස්ලිම් සුසාන භූමියක මීට දින 28කට පෙර මිහිදන්  කළ අයෙකුගේ මළ සිරුරක් මෙසේ අතුරුදහන්ව තිබෙනවා.

එම මළ සිරුර සොයා  ගැනීම සඳහා අවට මෑතකදී  මිහිදන් කළ තවත් වලවල් දෙකක් හාරා  තිබෙන බවද පොලීසිය කියයි.

පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බැලීමේදී ගොඩගත් මළ සිරුර ඇළ පහරක් දිගේ මීටර් දෙසීයක පමණ දුරකින් පිහිටි මුරුංගා වගා කර ඇති හේනක පස්වලින් වසා දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකි වී තිබෙනවා.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගලේවෙල පල්ලෙවෙල ප්‍රදේශයේම පදිංචිව සිටි හබිබී ලෙබ්බේ මන්සූර් (50) නැමැති අයගේ මළසිරුර බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මියගිය අයගේ ඥාතියෙකු කියා සිටියේ උදෑසන තම ඥාතියා මිහිදන් කළ ස්ථානයේ වළක් හාරා ඇති බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂාකර බැලීමේදී එහි තැන්පත් කොට තිබූ මළ සිරුර නොමැති බව දැක පොලිසියට දැනුම් දුන් බවයි.
 
පසුව පොලිසිය පැමිණ විමර්ශනය කිරීමේදී මළ සිරුරේ කොටස් ස්ථානයක පස්වලින් වසා දමා තිබෙන අයුරු දැක ගත් බව ඔහු කියා සිටියා.

කවුරුන් විසින් මෙය සිදු කළේ ද යන්න හෝ කුමක් නිසා මෙම මළ සිරුර ගොඩ ගත්තේ දැයි යන්න තවමත් නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි බවයි පොලීසිය කියා සිටියේ.

කෙසේ වෙතත්  මළ සිරුර පිළිබඳව නැවතත් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව ගලේවෙල පොලිසිය සඳහන් කළා.

දැනට මළ සිරුර හමුවූ ස්ථානයට සහ සුසාන භූමියට පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. ගලේවෙල පොලිසියේ පොලිස් පරීක්ෂක ජානක වීරරත්න, උප පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර,  පොලිස් සැරයන් (28785) නිශාන්ත ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ සිදු කරනවා.