Tuesday, March 19, 2024

General line - 0115112241

දුම්වැටි 96 දහසක් සමග සිව්දෙනෙක් කොටු (VIDEO)




විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවා.

මොවුන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචි විවාහක යුවළ දෙකක් වන අතර, මොවුන් සමග වයස අවුරුදු දෙකක පමණ වන දියණියකද සිටි බවයි අනාවරණය වුණේ.

මොවුන් නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් භාණ්ඩ රැගෙන එන්නන් බව ද රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබුණා.

මෙම පිරිස අද උදෑසන 8.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි සහ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත ප්ලැටිනම් වර්ගයේ දුම්වැටි ද තිබූ අතර, එහි රුපියල් පනස් තුන් ලක්ෂ දහතුන් දහසක් (53,13,000) ක් වටිනා දුම්වැටි 96,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 483 ක් සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවනගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්නගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ආර්.රුෂාන්දන්, කේ.එච්.පී. කුමාරසිරි සහ පීටර් ගුණවර්ධන, රේගු අධිකාරී ඒ.ජේ.එම්.එස්.ආර්.ඇරැව්පොළ යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිනවා.