Tuesday, March 19, 2024

General line - 0115112241

අපේක්ෂකයා නම් කරන්න එජාපයට කලබලයක් නැහැ : අමාත්‍ය පී. හැරිසන් කියයි 

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට කිසිදු කලබලයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් අපේක්ෂකත්වය නම් කළ පසු සහ ජනාධිපතිවරයා එය ගැසට් කිරීමෙන් පසු සිය පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව දැනුවත් කරන බවත් අපේක්ෂකයන් සඟවා තබා ගැනීමෙන් එහි වටිනාකම වැඩිවන බව අද (24)  සීගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කර සිටියා.
 
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගෙන නොමැතිව තිබියදී විවිධ පුද්ගලයන් අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ නම් ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා කියා සිටියා.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව තවමත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර නැති බවත් ඔහුගේ අනුගාමිකයන් එම නම කියවන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණය පිළිබඳව කිසිදු අභියෝගයක් නොමැති බවත් මීට වඩා අභියෝග ඇති අවස්ථාවන්හිදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

19 වන සංශෝධනය වැඩි වශයෙන් උනන්දු වී අනුමත කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එහි අඩුපාඩුකම් තියෙන බවත් සඳහන් කරන්නේ නම් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් තුළ සලකා බැලිය යුතු බවත් ඕනෑම දෙයක අඩුපාඩුකම් පවතින බවද 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපති තත්වයකට විශාල වශයෙන් ගිය බවත් 19 වැනි සංශෝධනයෙන් එය වඩා සරළව ගෙන ආ නිසා ඇතැම් අයට මෙහි අඩුපාඩුකම් පෙනෙන්නට ඇති බවත් ඒ සඳහා සංශෝධනයක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළා.