Thursday, March 28, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ශ්‍රීලනිපය තීරණය කරයි

තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබෙනවා. ඒ, ඊයේ (26) රාත‍්‍රියේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවයි. 

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි නෙත් නිවුස් මන්ත‍්‍රීවරයාගෙන් විමසීමක් කළා. එහිදී සඳහන් කෙරුණේ සිය ස්ථාවරය වන්නේ ජනාධිපතිවරයා බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම තීරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන මන්ත‍්‍රී කණ්ඩායමෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ ප‍්‍රකාශ කළේ නිදහස් පක්ෂය කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි. 

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවයි ඔහු කියා සිටියේ. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය තීරණය ප‍්‍රකාශයට පත් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට අදාළ සාකච්ඡා ක‍්‍රියාත්මක වෙමින් තිබියදී වීමද විශේෂත්වයක්. කෙසේවෙතත් දෙපාර්ශ්වයේම නියෝජිතයින් ඉකුත් දිනවල ප‍්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණයේදී තුන්කොන් සටනකට යාමට කටයුතු නොකරන බවයි.