Wednesday, April 24, 2024

General line - 0115112241

රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායි පදනම මත මෝටර් රථ




රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සංශෝධන සහිතව යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පවසන්නේ සහනදායී පදනම මත ලබා දෙන මෝටර් රථ බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 30,000 වන අතර ඒ සඳහා ගෙවිය යුතු මුළු බද්දෙන් සියයට 50‍ ක බදු සහනයක් හිමිවන බවයි.

මේ යටතේ රාජ්‍ය නිලධාරීන් , රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍යවරු, නීතීඥවරු, විශ්ව විද්‍යාල කුලපතිවරු, ආචාර්යවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමිකමට ඇතුළත් වන බව එම නිවේදනයේ සඳහන් වනවා.

නව චක්‍රලේඛය යටතේ අදාළ නිලධාරීන්ගේ සේවා කාලය සලකා බලපත්‍ර ලබා දෙන අතර එය රාජ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වසර 6කි. රාජ්‍ය සංස්ථා සහ ව්‍යාවස්ථාපිත ආයතන සඳහා මෙම කාලය වෙනස් වන බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

නිලධාරියකුට ලබා ගත හැකි උපරිම බලපත්‍ර ගණන දෙකක් වන අතර පළමු බලපත්‍රය නියමිත කාලය තුළ ලබා ගත් පසුව දෙවැනි බලපත්‍රයේ හිමිකම පළමු බලපත්‍රය ලබා වසර 10කට පසු හිමි වනවා.
රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මීට පෙර මෝටර් රථ බලපත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලබාගෙන ඇත්නම් එම නිලධාරීන්ට මෙම අවස්ථාව හිමි නොවනු ඇත.

රජය විසින් 2010 වර්ෂයේ සිට රාජ්‍ය සේවකයන් වෙත මෙතෙක් ලබා දී ඇති නිදහස් බලපත්‍ර ගණන 38,000ක් ඉක්මවන අතර ඒ වෙනුවෙන් ලබා දී ඇති බදු සහනවල වටිනාකම රුපියල් බිලියන 143ක් පමණ ඉක්මවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.