Thursday, March 28, 2024

General line - 0115112241

ගිවිසුම කඩකරමින් ඉරානය න්‍යෂ්ටික මෙහෙයුම් අරඹයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක බලවතුන් සමග 2015 වසරේදී එළඹි න්‍යෂ්ටික ගිවිසුම කඩකරමින් යුරේනියම් බලගැන්වීම අද ආරම්භ කරන බව ඉරානය ප්‍රකාශ කළා. අදාළ ගිවිසුම ආරක්ෂා කර ගැනීමට සිය රටට අවශ්‍යවුවත්, එය ආරක්ෂා කර ගැනීමට යුරෝපය ප්‍රමාණවත් පියවරක් අනුගමන නොකළ බවටයි ඉරානයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා චෝදනා කළේ.

කෙසේවෙතත් නව තීරණයත් සමග න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට මෙන්ම සිය න්‍යෂ්ටික බලාගාරවලට ඉන්ධන සපයා ගැනීමට ද ඉරානයට අවස්ථාව උදාවනවා. 

සිය රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ලෝක බලවතුන් පියවර ගතහොත් රාජ්‍ය තාන්ත්‍රික පදනම පිළිබඳ යළිත් වරක් සිතා බැලිය හැකි බව ද ඉරානය ප්‍රකාශ කළා. කෙසේවෙතත් යළිත් යුරේනියම් බලගැන්වීමට ඉරානය තීරණය කළේ න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් වන නව සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය කොන්දේසි සොයා බැලීම සඳහා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් එකගතාව පළ කර ඇති පසුබිමක වීම විශේෂත්වක්.