Friday, April 26, 2024

General line - 0115112241

කටුනායක නවතා ඇති විශේෂ ගුවන් යානය ගැන ආණ්ඩුවෙන් පැහැදිළි කිරීමක්

තරංග රුක්ෂාන්/සජිත් තිලකරත්න




භූමියෙහි ගැඹුරේ ඇති ඛණිජ ද්‍රව්‍ය නිරීක්ෂණය කිරීම ඇතුළු විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබස්වා තිබීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරුණු පැහැදිළි කිරීමක් සිදු කළා.

ඒ, අදාළ ගුවන් යානය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන් පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි.

මෙම ගුවන් යානය ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දුනීසියාවේ සිට බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.  එමගින් මීටර් 800 ත්, 1000 ත් තරම් ගැඹුරේ භූ අධ්‍යයනය නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඇති බවට ද වාර්තා පළ වුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් ද චෝදනා කළේ මෙවැනි ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ නවතා තබන්නේ මෙරට ඛණිජ සම්පත් විදෙස් රටවලට විකිණීමේ සූදානමකින් දැයි සැක පළ වන බවයි. 

මෙම චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් විමසීමක් කළා. ඔහු අවධාරණය කළේ මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ සාමාන්‍ය කි‍්‍රයාපටිපාටිය මත බවයි. එමගින් භූ ගත නිරීක්ෂණ කටයුතු සිදු කරන බවට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

එහිදී "මේ ගුවන් යානය ඉන්දුනීසියාවේ සිට පැමිණ තිබෙන්නේ ආපසු ඉන්දියාවට යන්න. එතකොට එම ගුවන් යානයට තෙල් පුරවා ගැනීම සහ කණ්ඩායමට විවේකයක් ගන්න තමයි ඉල්ලලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගුවන් යානා පියාසර කරද්දි සිද්ධවෙන තත්ත්වයක් මේක. ඒගොල්ලො 09 වැනිදා පිටත් වෙනවා." යනුවෙන්ද සඳහන් කළා.


කෙසේවෙතත් ඇතැම් වාර්තාවල දැක්වුණේ ඉන්දුනීසියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා වූ ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගය ශ‍්‍රී ලංකා භූමිය හරහා වැටී තිබීම හේතුවෙන් මෙම යානයේ ගමන පිළිබඳ සැක මතු වන බවයි. ඊට හේතුව ලෙස දක්වා තිබුණේ පොළව ගැඹුරේ ඇති ද්‍රව්‍ය නිරීක්ෂණය කිරීමේ විශේෂ හැකියාවක් මෙම ගුවන් යානය සතු වීමයි. එහෙත්, ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ යානයේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදුවූවක් බවත්, වෙනත් කටයුත්තක් සිදු නොවන බවයි. 

මතභේදයට තුඩුදී ඇති අදාළ ගුවන් යානය හෙට (09) දිනය දක්වා මෙරට නවතා තැබෙන අතර පසුව ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.