Thursday, March 28, 2024

General line - 0115112241

පින්නදූව හුවමාරුවේ ඇති බුදු පිළිමය ගැන පැතිර ගිය කතාවෙන් උණුසුම් තත්ත්වයක් (PHOTOS)

රවින්ද්‍ර චන්ද්‍රලාල්




දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව හුවමාරුවේ ඊයේ (08) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ ඉදිකර ඇති බුදු පිළිමය එම ස්ථානයෙන් ඊයේ (08) මධ්‍යම රාත්‍රියට පෙර ඉවත් කිරීමට නියෝගයක් ලැබී අතැයි පවසමින් භික්ෂුන් වහන්සේලා, ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් සවස 07.00 ට පමණ එම ස්ථානයේ විරෝධතාවයක නිරත වුණා.

ඒ අනුව අදාළ ස්ථානයට විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා තිබුණා. 
 
අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කළහෙවත්ත ඇතුළු මන්ත්‍රිවරුන් හා ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන විහාරාධිපතිවරුන් ඇතුළු ස්වාමීන් වහන්සේලා 40 ක පමණ පිරිසක් මෙම ස්ථානයට පැමිණ සිටියා. 

මෙහිදී අදහස් දැක් වු විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් පවසා සිටියේ මාර්ග සංවර්ධන විෂය භාර අමාත්‍යවරුන්ගේ උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් අදාළ බුදුපිළිමය 08 වැනි දින රාත්‍රි 12.00 ට පෙර ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බවත් එවැන්නක් සිදු කරන්නේ නම් තමන් දිවිහිමියෙන් ඒ සදහා කැපවෙමින් මෙය ආරක්ෂා කරන බවයි.

පසුව දුරකතනය ඔස්සේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාරට සහ විරෝධතාවයේ යෙදී සිටි ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසට කියා සිටියේ කිසිසේත්ම බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි. 

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි ද එම ස්ථානයට පැමිණ කියා සිටියේ බුදු පිළිමය ඉවත් නොකරන බවයි. 

ඒ අනුව විරෝධතාවය අවසන් වු අතර විරෝධතාකරුවන් බුදු පිළිමය යට කොටසට ගල් ඇල්ලීම ද එම අවස්ථාවේදීම ආරම්භ කරනු ලැබුවා.