Saturday, April 20, 2024

General line - 0115112241

අද තරගයේ ජයග්‍රාහකයා අවසන් මහා තරගයේදී හමුවන තෙක් නවසීලන්තය බලාසිටී

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය බර්මින්හැම් හිදි අද (11) පැවැත්වෙනවා. ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතරයි. 

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දිනා ගනිමින්. සත්කාරක එංගලන්ත කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දිනා ගනිමින් මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සිය ස්ථානය වෙන්කර ගත්තා.   

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ එංගලන්තය අවසන් පූර්ව වටයේ තරගයකට එක්වන 6 වන අවස්ථාව ද මෙයයි. එමෙන්ම එංගලන්ත කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයේ තරගයකට අද එක් වන්නේ වසර 27කට පසුව වීමද විශේෂත්වයක්.

1979, 1987 සහ 1992 යන වසර වලදී ලෝක කුසලාන අවසන් මහ තරගවලට පිවිසි එංගලන්තය කණ්ඩායමට මේ දක්වා එක්දින ලෝක කුසලානයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවී නැහැ.

එක්දින ලෝක කුසලාන පිටියේ සාර්ථකම කණ්ඩායම ලෙස සැලකෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයකට එක්වන 8 වන අවස්ථාව ද මෙය වනවා. මේ දක්වා තමන් සහාගි වූ අවසන් පූර්ව තරග 7ම ජය ගනිමින් ඕස්ටේ‍්‍රලියානු පිල අවසන් මහ තරගවලට පිවිස තිබීමද විශේෂත්වයක්.

ඉන් අවස්ථා 5කදීම අවසන් මහ තරග ජය ගත් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම එක්දින කි‍්‍රකට් ලෝක කුසලානය සිය මවුබිමට රැගෙන යාමට සමත් වුණා.

එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ලෝක කුසලාන තරග සංඛ්‍යාව 8ක්. ඉන් තරග 6ක් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ජයගත් අතර තරග දෙකක් එංගලන්ත කණ්ඩායම ජය ගැනීමට  සමත් වුණා.

අද පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.