Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාව හා බි‍්‍රතාන්‍ය අතර හටගත් රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදය තවදුරටත් දැඩි වෙයි

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාව හා බි‍්‍රතාන්‍ය අතර හටගත් රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදය තවදුරටත් තීව‍්‍ර කරමින් අමෙරිකාවේ සිටින බි‍්‍රතාන්‍ය තානාපති ශ‍්‍රීමත් කිම් ඩැරොක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. උද්ගතවී ඇති තත්ත්වය අනුව තමාට තවදුරටත් එම තනතුරේ රාජකාරී කළ නොහැකි බව පවසමින් තානාපතිවරයා ඉල්ලා අස්වීම භාර දී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. කෙසේවතත්, ඔහුගේ එම තීරණය දැඩි කණගාටුවට හේතුවක් බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ප‍්‍රකාශ කළා. 

මේ අතර තානාපති ශ‍්‍රීමත් කිම් ඩැරොක් හට එම ධූරයේ රාජකාරී කිරීම සඳහා ප‍්‍රමාණවත් සහයක් ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ හිටපු විදේශ කටයුතු ලේකම් බොරිස් ජොන්සන් හට විවේචන එල්ල වෙමින් තිබෙනවා.

කන්සර්වේටිව් පක්ෂයේ ප‍්‍රබලයෙකු වන බොරිස් ජොන්සන්, තෙරේසා මේ ගේ නික්මයාමෙන් හිස්වන අග‍්‍රාමාත්‍ය අසුනට මෙන්ම, පාලක පක්ෂයේ නායකත්ව සටනට ද ඉදිරිපත්ව එහි ඉදිරියෙන් පසුවන ප‍්‍රබලයෙක්.

ඔහු බි‍්‍රතාන්‍යයේ මීලග අග‍්‍රාමාත්‍යවරයා වනු ඇති බවටයි මේ වනවිටත් පූර්ව මත ඉදිරිපත්ව ඇත්තේ. 

මේ අතර බි‍්‍රතාන්‍ය තානාපති ශ‍්‍රීමත් කිම් ඩැරොක් යනු මෝඩයෙකු බවත්, අමෙරිකාව තවදුරටත් ඔහු සමග කටයුතු නොකරන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද ප‍්‍රසිද්ධියේ චෝදනා කර තිබෙනවා. 

රටවල් ද්විත්වය අතර මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පාලනය විවේචනයට ලක් කරමින් තානාපතිවරයා විසින් බි‍්‍රතාන්‍යයට යොමු කළ රහස් විද්‍යුත් පණිවිඩ කිහිපයක් ප‍්‍රසිද්ධියට පත්වීමත් සමගයි.