Friday, March 29, 2024

General line - 0115112241

නෞකාව ගැන තීරණයකට එළඹෙන්න දෙපාර්ශ්වයෙන්ම දැඩි උනන්දුවක්

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය රට විසින් රඳවා ගෙන සිටින ඉරානයට අයත් සුපිරි ඉන්ධන නෞකාව යළි ඉරානයට ලබා දීමට බි‍්‍රතාන්‍ය සූදානම් වනවා. බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් පැවසුවේ එම නෞකාවේ ඇති ඉන්ධන සිරියාවට ලබා නොදෙන බවට ඉරානයෙන් පිළිගත හැකි සහතිකයක් හිමිවුනහොත්, නෞකාව නිදහස් කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහොමඞ් ජවාඞ් සාරිෆ් සමග ද සාකච්ඡා පැවැත්වූ බවයි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් පැවසුවේ. නෞකාව පදනම් කර ගනිමින් දෙරට අතර හට ගෙන ඇති අර්බුධකාරීත්වය විසඳීමට මිස එය තවත් උත්සන්න කිරීමට ඉරානයට ද අවශ්‍ය නොවන බව බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. 

ඉරානයට අයත් ගේ‍්‍රස් වන් නමැති අදාළ නෞකාව බි‍්‍රතාන්‍යයේ රාජකීය නාවික හමුදාව විසින් සිය භාරයට ගත්තේ ඉකුත් 04 වැනිදායි. ඒ, යුරෝපා සංගමය විසින් පනවා ඇති සම්බාධක නොතකා ඉරානය අදාළ නෞකාව හරහා සිරියාවට ඉන්ධන ප‍්‍රවාහනය කරන බවට චෝදනා නගමින්. ඒ සමගම දෙරට අතර අර්බුධකාරී තත්ත්වයක් ද හට ගත්තා. එකට එක කිරීමක් ලෙස බි‍්‍රතාන්‍ය නෞකාවක් ද සිය භාරයට ගැනීමටයි ඉරානය අවස්ථා කිහිපයකදීම උත්සහ දැරුවේ.