Friday, April 19, 2024

General line - 0115112241

එංගලන්තයට ජය ගෙන ආ සුපිරි පන්දුවාරයේ නීති ගැන ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් විවේචන

සමන්ත කුමාර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය තීරණය කළ සුපිරි පන්දුවාරයේ නීති රීති සම්බන්ධයෙන් මේ වනවිට දැඩි සංවාදයක් මතුව තිබෙනවා. ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රවීණයන් පවසන්නේ සුපිරි පන්දුවාරයේ නීති රීති වෙනස් විය යුතු බවයි. ඕස්ටේ්‍රලියානු හිටපු වේග පන්දු යවන්නෙකු වන බ්‍රෙට් ලී පවසා ඇත්තේ එම තරගයේ ජයග්‍රහකයින් තීරණය කළ ක්‍රමවේදය වහාම වෙනස් කළ යුතු බවයි. ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ගෞතම් ගාම්භීර් ද සුපිරි පන්දුවාරයේ නීති රීති සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කර තිබෙනවා. අදාළ නීති රීති හාස්‍යජනක බවයි ඔහු සිය නිල ට්වීටර් ගිණුමේ දක්වා ඇත්තේ. 

ලෝක කුසලාන අවසන් මහා තරගයේ දෙපිලම රැස් කළ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී එංගලන්ත කණ්ඩායම ලකුණු 15ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම ලකුණු 15ක් රැස් කළද සුපිරි පන්දුවාරයේ නීතිවලට අනුව තරගයේ එල්ල වූ වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාව අනුව එංගලන්ත කණ්ඩායමට ජය හිමිවුණා. 

මේ අතර මෙම තරගයේ අවසන් පන්දුවාරයේ 04වන පන්දුවේදී අතිරේක ලකුණු සමඟ ලකුණු 06ක් එංගලන්ත පිලට ලබාදීමට විනිසුරුවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ද වාද විවාද පවතිනවා. එම පන්දුවට බෙන් ස්ටොක් එල්ල කළ පහරක් හතරේ සීමාව ආසන්නයේදී රැකගත් මාර්ටින් ගප්ටිල් පන්දුව කඩුල්ල වෙත එල්ල කළ අතර එම අන්තයටම දිව යමින් සිටි බෙන් ස්ටොක්ගේ පන්දුවේ වැදීමෙන් පන්දුව හතරේ සීමාව පසුකර ගියා. ක්‍රිකට් විචාරකයින් පවසන්නේ මාර්ටින් ගප්ටිල් කඩුල්ල වෙත එල්ල කළ පන්දුව බෙන් ස්ටොක්ගේ පිත්තේ වදින අවස්ථාවේ එංගලන්ත පිතිකරුවන් දෙදෙනා එක් ලකුණක් පමණක් සම්පූර්ණ කර තිබු බවයි. ඒ අනුව එම පන්දුවට හිමිවිය යුත්තේ ලකුණු 06ක් නොව ලකුණු 05ක් පමණක් බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.