Tuesday, April 16, 2024

General line - 0115112241

කළු සහ කැළණි ගංගා ස්ථාන කිහිපයකින් පිටාර මට්ටමේ - දෙපස ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම් දීමක්

කසුන් කැළුම් /ලහිරු කපුගේ/රංජිත් රාජපක්ෂ




කළු සහ කැළනි යන ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් එම ගංගා දෙපස සිටින ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

කළු ගග රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.  කැළණි ගග නොර්වුඞ් සහ කිතුල්ගල යන ප‍්‍රදේශවලින් පිටාර මට්ටමට ආසන්න වෙමින් තිබෙනවා. එම ගංගාවල ජල මට්ටම් තත්ත්වය පිළිබද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මෙලෙස පැහැදිලි කළා.

මේ අතර රත්නපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබද රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.
 

මේ අතර මධ්‍යම කදුකරයට ඇදහැළෙන අධික වැසි හේතුවෙන් හැටන්, කොටගල ප‍්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. හැටන් - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම වැසි ජලය ගලා බැසීම නිසා රථ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් වටවල ප‍්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා. හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ද එක් මංතීරුවකට සීමා කර ඇති බවයි පොලීසිය පැවසුවේ. එම මාර්ගය දියගල ප‍්‍රදේශයෙන් නාය යෑමේ අවධානමක් පැවතීම ඊට හේතුවයි. 

නුවරඑළිය, ආගරපතන, ටොරින්ටන් වත්ත ප‍්‍රදේශයේදී ජල පහරකට හසුව 11 හැවිරිද දැරියක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. තවත් දැරියක් අතුරුදන්ව සිටින බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. 
මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ විශේෂයෙන්ම මධ්‍යම කදුකර ප‍්‍රදේශවලට දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ගත වූ පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ කළුගග ජල පෝෂක ප‍්‍රදේශයට අයත් කුඩව ප‍්‍රදේශයෙන්. එම අගය මිලිමීටර් 172 . 5 ක්. නුවරඑළිය, කැළණි ගග ජල පෝෂක ප‍්‍රදේශයට අයත් ඩන්කල් ස්ටේට් ප‍්‍රදේශයට මිලිමීටර් 120 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. 

මේ අතර මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 සිට 80 ක් දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එම මුහුදු ප‍්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ලබන 20 වනදා වන තෙක් ධීවර සහ නාවික කටයුතුවල නිරත නොවන ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.