Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකානු යුධ නැවකින් "ඉරානයට" ප්‍රහාරයක්

දිනුක් හේවාවිතාරණ




ගල්ෆ් මුහුදට ඉහළ ගුවනේදී ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර මුහුදු සීමාවට අයත් හෝමූස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු ප්‍රහාරක නෞකාවකට බලපෑම් කිරිම හේතුවෙන් ඉරානයට අයත් ඩ්‍රෝන යානයක් එලෙස බිම හෙලූ බවයි ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ.

ජාත්‍යන්තර මුහුදු සීමාවේ යාත්‍රා කරන නෞකාවලට එරෙහිව ඉරානය සිදු කරන ක්‍රියාවල නවතම සිදුවීම මෙය වන බව අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර සිටියි.

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ස්ථානගත කර තිබෙන අමෙරිකානු යුධ නෞකාවක් වන USS Boxer නම් ප්‍රහාරක නෞකාවට මිටර් 914ක ආසන්නයට පැමිණිම හේතුවෙන් ඉරාන ඩ්‍රෝන යාත්‍රාව විනාශ කිරිමට එම නෞකාව පියවර ගනු ලැබුවා.

අමෙරිකාව සදහන් කරන්නේ සිය නෞකාවේ ආරක්ෂාව වෙනුවෙන් එලෙස ප්‍රහාරයක් එල්ල කිරිමට පියවර ගත් බවයි.

සිය ඩ්‍රෝන යානයක් විනාශ වූ බවට මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර සිටියි.

ඉරානය විසින් ඉකුත් ජුනි මාසයේදී අමෙරිකානු ඩ්‍රෝන යාත්‍රාවකට ප්‍රහාර එල්ල කර බිම හෙලනු ලැබුවා.

කෙසේ වුවත් වත්මන් සිද්ධින් සමග අමෙරිකාව සහ ඉරානය අතර දැඩි අර්බුධකාරි වාතාවරණයකට ගමන් කරමින් සිටින බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.