Saturday, April 20, 2024

General line - 0115112241

ඇමතිගේ ඉල්ලීම ඉවතට - මැදියම් රැයේ සිට තැපෑල ලෙඩවීම ස්ථීරයි

ඩිල්ෂාන් මඩවල / හේරත් ඒකනායක




අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර එක්දින වෘත්තීය සමිති අරගලයක් සිදු කිරීමට ගත් තීරණයෙහි කිසිදු වෙනසක් නැතැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ සෙසු වෘත්තීය සමිති ද මෙම අරගලය සඳහා තමන්ට සහය පළ කර ඇති බවයි නෙත් නිවුස් කළ විමසුමකදී ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. මේ, එහි ප්‍රධාන ලේකම් එච් කේ කාරියවසම්. 

මෙම වෘත්තීය සමිති අරගලය සිදු කෙරෙන්නේ වසරකටත් වැඩි කාලයක් තිස්සේ විසඳුම් ඉල්ලා සිට එහෙත් මේ දක්වාත් විසඳුම් නොලැබුණු ගැටළු කිහිපයක් පාදක කර ගනිමින් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මේ අතර තැපැල් සේවකයන් කැඳවා ඇති මෙම වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් මහනුවර අද පැවැත්වු මාධ්‍ය හමුවකදී තැපැල් සේවා අමාත්‍ය එම් එච් ඒ හලීම් ද අදහස් පළ කළා. වෘත්තීය සමිති විසින් පෙන්වා දෙන ගැටළු තමන්ද පිළිගන්නා නමුත් මෙම අවස්ථාවේදී වෘත්තීය සමිති අරගලයක් නොකරන ලෙස ඔවුන්ගෙන් නැවත ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. 

06/2006 චක්‍රලේඛය පිළිබඳ ගැටළුව හැර තැපැල් සේවකයන් මුහුණදෙන සෙසු ගැටළුවලට විසඳුම් ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇතැයි ද අමාත්‍ය එම් එච් ඒ හලීම් මෙහිදී වැඩිදුරටත් පැවසුවා. 

කෙසේවෙතත් ප්‍රකාශිත පරිදි තැපැල් සේවකයින් හෙට සිය වෘත්තීය සමිති අරගලය සිදු කළහොත් රටපුරා තැපැල් සේවා ඒ නිසා බිඳ වැටෙනු ඇති.