Friday, April 19, 2024

General line - 0115112241

පූජිත්ගේ නීතිඥවරයා මාධ්‍ය නිවේදනයක් පිළිබඳ අධිකරණයේදී කරුණු මතු කරයි

අධිකරණ වාර්තාකරු




පසුගිය අප්‍රේල් මස 21 වැනි දා සිදු වු බෝම්බ ප්‍රහාරවලින් සිදු වූ ජීවිත සහ දේපළ හානි වළක්වා ගැනීමට කටයුතු නොකරමින් අපරික්ෂාකාරිව රාජකාරි පැහැර හැරීමේ චෝදනාවලට සැකකරුවන් ලෙසට නම් කර ඇති පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේ පවතින නඩු කටයුතු සඳහා අද (22) පෙනී සිටියා.

මෙම සිද්ධියට අදාලව පළමු සැකකරු වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රකාශ සටහන් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා සිටියා.

මේ අතර දෙවන සැකකරු වන පූජිත් ජයසුන්දරගෙන් අවස්ථා දෙකකදී ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් වැඩිදුර ප්‍රකාශ අද දින ද සටහන් කර ගැනීමට නියමිත බව පවසා සිටියා.

මේ අතර දෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් තම සේවාදායකයාට අගතියක් සිදු වී ඇති බවයි. 

මෙම ප්‍රශ්න ගත මාධ්‍ය නිවේදනය ගැන තමාට අවබෝධයක් නොමැති බවත් එය නීතිපතිවරයාගේ අවධානයට යොමු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා තිබෙනවා.

මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ඔක්තොම්බර් මස 03 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සැකකරුවන් දෙදෙනා මේ වන විට  ඇප මත මුදාහැර සිටිනවා.

සැකකරුවන්ට ඇප ලබා දීමට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම හෙට (23) දින මහාධිකරණයේ කැඳවීමට නියමිතයි.
 
සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ  410 යන වගන්ති යටතේ වන මිනී මැරීම ඇතුළු වැරදි සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.