Saturday, April 20, 2024

General line - 0115112241

මහජන උපයෝගිතා කොමිසමට රවිගේ පුද්ගලික නීතිඥයා පත්කිරීමට විරෝධය




ස්වාධින කොමිෂන් සභාවන් වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අමාත්‍ය රවි කරුණානයකගේ පුද්ගලික නීතිඥවරයෙකු වන සදුන් ගමගේ  සාමාජිකයෙකු ලෙස පත්කිරීම හෙලා දකින බව විද්වත් වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් සංවිධානයක් වන දූෂණ විදු නෙතින් සංවිධානය ප්‍රකාශ කරනවා.

"අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද නිර්දේශයක් අනුව ව්‍යවස්ථාදායක සභාව විසින් සදුන් ගමගේ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පසුගිය සතියේදී අනුමත කර තිබෙනවා. මහ බැංකු බැදුම්කරයට අදාලව ජනාධිපති කොමිෂන් සභා පරීක්ෂණයේදී අවස්ථා ගණනාවකදී අමාත්‍ය රවි කරුණානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වුයේ සදුන් ගමගේ යි."

රවි කරුණානායක විදුලිබල අමාත්‍යවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි මාසයේ සිට හදිසි විදුලිය මිලදී ගැනීම් ගණනාවක් කර ඇති අතර තරගකාරී ටෙන්ඩර් ක්‍රමයට පරිබාහිරව විදුලිබල පනත උල්ලංඝණය කරමින් මෙම මිලදී ගැනීම් කර ඇති බව පෙන්වා දෙන්නේ. එසේම මේ දක්වා ආරම්භ කර නොමැති විදුලි බල ව්‍යාපෘති 27ක් සඳහා සිය දේශපාලන හිතවතුන් පත්කිරීමට ද ඔහු විසින් විදුලිබල මණ්ඩලයට නියෝග කර ඇති බවටද චෝදනා කරනවා. 
 
ශ්‍රි ලංකා විදුලිබල පනත මගින් විදුලිය මිලදී ගැනීමේ මිල තීරණය කිරීම හා විදුලි ගාස්තු තීරණය කිරීමේ බලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පවරා ඇති අතර රවි කරුණානායක විසින් එම බලය සියතට ගැනීම සඳහා පනත සංශෝධනය සඳහාද කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් පෙන්වා දෙනවා.

යහපාලන රජය විසින් සිදුකරන මෙම නීතිවිරෝධී පත්වීමට රටේ සමස්ත වෘත්තීකයින්ගේ විරෝධය පළ කර සිටින බවයි දූෂණ විදු නෙතින් සංවිධානය ප්‍රකාශ කරන්නේ.

මෙරට විදුලිබල කර්මාන්තය මේ වන විට විශාල පරිහානියකට ලක්කරමින් දූෂණ හා වංචා සහිත විදුලි මිලදී ගැනීම් සිදුකරන අතර අඩු පිරිවැය විදුලි ජනන ක්‍රමයක් වන වහල මත සවිකරන සුර්ය විදුලි බලාගාර නැවත්වීමටද විදුලි බල අමාත්‍යංශය ක්‍රියාකර ඇති බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මේ සියලු දුෂණ හා අක්‍රමිකතාවලට එරෙහිව දුෂණ විදු නෙතින් සංවිධානය ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවත් සඳහන් කරනවා.