Thursday, April 25, 2024

General line - 0115112241

CIA බුද්ධි අංශයට සම්බන්ධ 17 දෙනෙක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




අමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් CIA සංවිධානයට සම්බන්ධ බුද්ධි අංශ ක්‍රියාකාරීන් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිය බුද්ධි අංශ ඒකකයට හැකිවූ බව ඉරානය පවසනවා. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ ඇතැම් පුද්ගලයින්ට මරණ දඬුවම පැනවීමට තීරණය කර ඇති බවයි ටෙහෙරාන් හි සිට ලැබෙන වාර්තා වලින් දැක්වෙන්නේ.

අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවී තිබෙන අර්බුධකාරී වාතාවරණය නවතම සිදුවීම ලෙසයි මෙය විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

CIA ඔත්තු ජාලයක් සාර්ථකව මැඩ පැවැත්වීමට තම බුද්ධි අංශයට හැකිවූ බවත් එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිසගේ අනන්‍යතාවය හෙළි නොකරන බවයි ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියේ. 

" හිතා මතාම රට පාවා දීමට කටයුතු කරනු ලැබූ සියළු දෙනා නිතිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඔවුන්ගෙන් ඇතැමෙක්ට මරණ දඬුවම හිමිවී තිබෙනවා අනිත් අය ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා" යැයි එම මාධ්‍ය හමුවේදී ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

මෙම CIA ඔත්තු ජාලය මැඩ පැවැත්වීමට තමන්ට විදේශ බුද්ධිඅ අංශයන් ගෙන් ද සහයෝගය හිමිවූ බවයි ඉරාන බුද්ධි අංශ භාර උසස් නිලධාරියෙක් සඳහන් කර සිටියේ. නමුත් ඔවුන්ට ඒ සඳහා උපකාර කරනු ලැබුවේ කුමන රටකින්ද යන්න පිලිබඳව හෙළි කිරීමක් සිදුකරනු ලැබුවේ නැහැ.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා වූ කාල සීමාව තුලදී සිදුකරනු ලැබූ වැටලීම් වලදී CIA සංවිධානයට සම්බන්ධ ඔත්තු ජාලයේ සාමාජිකයින් 17 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි වැඩිදුරටත් කරුණු අනාවරණය කෙරුනේ.

න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මුල් කර ගනිමින් අමෙරිකාව සහ ඉරානය අතර 2018 වර්ෂයේ සිට අර්බුධකාරී වාතාවරණයක් හටගත් අතර එය මේ වන විට උච්ජතම අවස්ථාවට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.