Tuesday, April 16, 2024

General line - 0115112241

කුලසේකරට උපහාර පිදෙන අද තරගය නැරඹීමට මාලිංග අනිවාර්යයෙන්ම එන බව කියයි




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 3 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද (31) පැවැත්වෙනවා.

දිවා රාතී‍්‍ර තරගයක් වන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. 

තරග 3කින් යුත් මෙම තරගාවලිය ශී‍්‍ර ලංකාව දැනටමත් 2ට බින්දුවක් ලෙස ජයගෙන සිටිනවා. අද තරගය ද ජය ගතහොත් වසර 3 යි මාස 8කට පසුව ශී‍්‍ර ලංකාව සිය මවුබිමේදී පූර්ණ එක්දින තරගාවලි ජයක් වාර්තා කරන පළමු අවස්ථාවද මෙය වනු ඇති.

අද තරගයේදී ඉකුත්දා කි‍්‍රකට් දිවියට සමුදුන් ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකරට උපහාර පිදීමේ උත්සවයක්ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවිධානය කර තිබෙනවා. කුලසේකරගේ රුව රැගත් බැනර් ද අද තරගයේදී කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ප‍්‍රදර්ශනය කෙරෙනු ඇති.

අද උපහාර පිදෙන නුවන් කුලසේකර පිළිබදව ඉකුත්දා එක්දින පිටියට සමුදුන් ලසිත් මාලිංග නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ "නුවන් කුලසේකර යනු තමන්ගේ දක්ෂතාවය හරියටම හඳුනගෙන ඒ ඔස්සේ පුහුණුවීම් කරලා තරගවලට මුහුණ දුන් ක්‍රීඩකයෙක්. ඒ නිසා තමයි ඔහු  එක්දින තරගවල ලෝකයේ අංක එකේ පන්දු යවන්නා වුණේ. වේගයෙන් පන්දු යවන්න ඕනේ කියලා...හෝ ශරීරයේ ප්‍රමාණය ඔහුට අදාළ වුණේම නෑ. තමන් තමන්ව හඳුනා ගත්ත ක්‍රීඩකයෙක් ඔහු. ඒ නිසා මට ඔහු ගැන ගොඩාක් ලොකු ආඩම්බරයක් තියෙනවා." යනුවෙනි.

තමන් සමග එක්ව නුවන් කුලසේකර ලෝකයට හදුන්වා දුන් පන්දු යැවීමේ නව රටාවක් පිළිබදවද ලසිත් මාලිංග මෙහිදී සිහිපත් කළා. 

නුවන් කුලසේකරට උපහාර පිදෙන අද තරගය නැරඹිමට තමන්ද පැමිණෙන බවයි ලසිත් මාලිංග මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.