Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජය සමරද්දී නුවන් කුලසේකරට උපහාර පිදෙයි (PHOTOS)

කසුන් කැළුම්




වසර 3 යි මාස 8කට පසු සිය මව්බිමේදී පූර්ණ එක්දින කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලිය 3 ට 0 ක් ලෙස ජය ගනිමින්.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඊයේ පැවති 3 වන සහ අවසන් එක්දින තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 122කින් ජය ගැනීමට සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 294ක් රැස් කළා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් රැස් කළා. 

ලකුණු 295ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 172ක් පමණයි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෞම්‍ය සර්කාර් ලකුණු 69ක් රැස් කළා. පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 27කට කඩුලූ 3ක් දවා ගත්තා. කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලූ දෙක බැගින් බිද හෙළුවා. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ඇන්ජලෝ මැතිව්ස්. 

මේ අතර මෙම තරගය අවසානයේ ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක්ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධාන කර තිබුණා. කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් නුවන් කුලසේකරට මෙහිදී සමරු තිළිණයක්ද පිරිනැමුණු අතර පසුව ඔහු ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට රැස්ව සිටි කී‍්‍රඩා ලෝලීන් ඇමතුවා.