Friday, March 29, 2024

General line - 0115112241

"මීළඟ පියවර තරුණ අදහස් ගනිමින් සමාජ ක්‍රමයක් ඇති කිරීම" - අගමැති කියයි




වත්මන් රජයේ අඩුපාඩු නිවැරැදි කර ගනිමින් විවෘත ප්‍රතිපත්තීන් තුළ තරුණ, තරුණියන්ගේ අදහස් ලබා ගනිමින් සමාජය ප්‍රතිසංස්කරණය කිරීමට කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ "එදා ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළේ තරුණ අදහස් අනුවයි. තරුණයන්ගේ සමාජ වැඩ කටයුතු දෙස බැලීමට යළිත් කාලයක් පැමිණ තිබෙන අතර  මීළඟ පියවර වන්නේ තරුණ අදහස් ලබා ගනිමින් සමාජ ක්‍රමයක් බිහි කිරීමයි. 2015 දී රජයේ අපේක්ෂාව බවට පත් වූයේ ජාතික සංහිදියාව ගොඩැනැගීමයි.  ජාති, ආගම්, භේදයෙන් තොරව සංහිඳියාව ගොඩැනැගීමට රජයට හැකියාව ලැබී තිබේ." යනුවෙනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ‍මහතා මෙම අදහස් පළ කළේ ඉකුත් 31 වැනි දින අරලියගහ මන්දිරයේ පැවති 2018 වර්ෂයෙ එඩිම්බරෝ ආදිපාද ජාත්‍යන්තර  වැඩසටහනේ සහතිකපත් හා තිළිණ ප්‍රදානෝත්සවයට සහභාගිවෙමින්.

"එදා එංගලන්තයේ ක්‍රියාත්මක කළ එඩිම්බරෝ ආදිපාද වැඩ සටහන ශ්‍රී ලංකාවට හදුන්වා දෙන්න අවස්ථාව ලැබුණා. නමුත් එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ.2015 න් පසුව යළිත් එය ප්‍රතිසංවිධානය කරමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. තිළිණලාභීන් සියළු දෙනාම දක්ෂයන්. ඔහුන්ගේ කැපවීමයි, දක්ෂතාවයි පෙන්වමින් මෙහිදී පෙන්වා තිබේ. මේ  තරුණ, තරුණියන් නියෝජනය කරනු ලබන තරුණ, තරුණියන් වි‍ශාල පිරිසක් මේ තුළින් ඉදිරියට පැමිණ තිබේ. මේ වැඩ සටහනට සම්බන්ධ වන සියළුම තරුණයන් වෙනුවෙන් මේ තිළිණ ලබා දෙනවා. ඒ හැම කෙනෙකුටම මාගේ ප්‍රසංසාව පිරිනමනවා.  මේ වන විට තරුණ අදහස් ඉදිරියට ගිහින් තිබෙනවා. ඒ බලාපොරොත්තු අනුව අපට අනාගතය සකස් කර ගන්න පුළුවන්. අපේ අදහස් අනුව තරුණයන්ට ඉදිරියට යන්න කියන්න බැහැ." තරුණ අදහස් ලබා ගෙන අප ඉදිරියට යායුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ,අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ සඳහන් කළේ මෙම තරුණයන්ගේ අනාගතය‍ වෙනුවෙන් කරනු ලැබූ කැපවීම අගය කළ යුතු බවයි. දැනුම, විනය, පෞෂ්‍යත්වය, කණ්ඩායම් හැගීම මෙම නායකත්වය තුළ ගොඩනැගෙන බවද පෙන්වා දුන්නා. 

"රටට ආදරය කරන, ගමට ආදරය කරන කෙනෙක් බවට ඔබ පත්වුවහොත් රටේ චරිතයක් බවට අනාගතයේ පත්වෙනවා. මේ සම්මානය ඔටුන්නක් බවට පත් කරනවා වෙනු‍වට ජිවිතය ජය ගැනීමට එය ශක්තියක් බවට පත් කර ගත යුතුයි. එය අනාගතයේ දැවැන්ත චරිත බවට පත්වීමට විශාල ශක්තියක් බවට පත් වෙයි." යනුවෙන්ද සඳහන් කළා.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එවකට ජාතික තරුණ සේවා සභාවේ සභාපති චරිත රත්වත්තේගේ මෙහෙයවීම යටතේ යෞවන තිළිණ වැඩ සටහන ආරම්භ වුණා. එය  වසර 39 ක් පුරාම එඩින්බරෝ අදිපාද වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශ‍ය මගින් විෂය සමගාමී ක්‍රියාදාමයක් ලෙස ද මෙම ජාත්‍යන්තර තිළිණ ප්‍රදාන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. 

1956 එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු විසින් මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබූ අතර එය රටවල් 144 ක ක්‍රියාත්මක කරමින් පවතී. වර්තමානයේ දිවයින පුරා පාසල් 148 ක එඩින්බරෝ ආදිපාද වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. මෙවර තිළිණ ප්‍රදානෝත්සවයේ දී සවර්ණ තිළිණ 45 ක්, රජත තිළිණ 188 හා ලෝකඩ තිළිණ 518 ක් ප්‍රධානය කිරීම අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.