Saturday, April 20, 2024

General line - 0115112241

කාදිනල් හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට 

අධිකරණ වාර්තාකරු




පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසට විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන ඉරිදා සහ පොහොය දිනවල පුද්ගලික උපකාරක  පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් පාර්ශ්වයක් ලෙසට පෙත්සමක් ගොනු කළා.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පුද්ගලික උපකාරක පන්ති පවත්වන සුදත් ඩියගුආරච්චි නැමැත්තා ඇතුළු කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කර තිබුණා.

දහම් අධ්‍යාපනයට බාධා වන ආකාරයට පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු කරන අපහාසයක් බව කාදිනල් හිමියන් පවසා සිටියි. පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවද කාදිනල් හිමියන් වැඩිදුරටත් පවසා සිටියි.

කෙසේවෙතත් ඉරිදා සහ පොහොය දිනයන්හි පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට ගෙන ඇති තීරණයෙන් අමතර දැනුම අපේක්ෂා කරන පාසල් සිසුන්ට අගතියක් සිදු කරන බව පෙත්සම්කරු පවසා සිටියි. පාසල්වල විධිමත් අධ්‍යාපනයක් නොමැති අවස්ථාවකදී පුද්ගලික පන්ති තහනම් කිරීම නුසුදුසු බව පෙත්සම්කරුවන් සඳහන් කරනවා. මෙම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4, සහ 12(1) ව්‍යවස්ථාවන්ට පටහැනි බවට ප්‍රකාශයට පත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවටත් එය නීතියක් බවට පත් වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබෙනවා.