Friday, March 29, 2024

General line - 0115112241

පිරිමි භාරකරුගේ අවසරයකින් තොරව කාන්තාවන්ට රට යෑමට අවසර  

දිනුක් හේවාවිතාරණ




පිරිමි භාරකරුවන්ගේ අවසරයකින් තොරව විදෙස් ගතවීමට නොහැකි බවට සෞදි කාන්තාවන්ට පනවා තිබු නීතිය ඉවත් කිරීමට එරට රජය අද (02) තීරණය කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 21 න් ඉහළ ඕනෑම කාන්තාවකට සිය පිරිමි භාරකරුවන්ගේ අවසරයකින් තොරව විදෙස් ගතවීමට අවසරය හිමිවනු ඇති.

ඒ අනුව වයස අවුරුදු 21ට වැඩි කාන්තාවන්ට විදේශ ගමන් බලපත්‍රයට ඉල්ලුම් කිරීමට සහ තිබෙන විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා මින් ඉදිරියට සිය පිරිමි භාරකරුවාගේ අවසරය අවශ්‍ය නොවන බවට දන්වමින් සෞදි රජය විසින් නිකුත් නව ගැසට් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

පිරිමින්ට තිබෙන අයිතිවාසිකම් හා සමාන අයිතිවාසිකම් කාන්තාවන්ටද ලබාදීම සඳහා සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. 

මිට පෙර සෞදියේ ඔටුන්න හිමිකුමරු විසින් එරට කාන්තාවන්ට රිය පැදවීමට තිබු තහනම ඉවත් කරනු ලැබූ අතර ගුවන් නියමුවන් ලෙස සේවයට එක්වීමට ද අවශ්‍ය අවසරය ලබාදෙනු ලැබුවා. වසර 2030 වන විට සෞදියේ ශ්‍රම බලකායට කාන්තා දායකත්වය ලබා ගැනීම සිය අරමුණ බැවින් ඒ සඳහා තිබෙන සීමා ඉවත් කිරීමේ අවශ්‍යතාවය එරට ඔටුන්න හිමි කුමරු නිරන්තරයෙන් අවධාරණය කරනු ලබනවා.

සෞදියේ කාන්තාවකගේ භාරකාරත්වය ඇයගේ පියාට, ස්වාමිපුරුෂයාට හෝ පවුලේ ලඟම වැඩිහිටි පිරිමින්ට හිමිවන අතර, තමන්ගේ උවමනාව මත විදෙස් ගතවීමට එරට කාන්තාවන්ට හැකියාවක් මේ දක්වා පැවතියේ නැහැ. 

සෞදි රජයේ නව තීරණයත් සමග එරට කාන්තාවන් තුල මහත් උද්යෝගයක් ඇතිවී තිබෙනවා.