Tuesday, April 16, 2024

General line - 0115112241

අමෙරිකානු මිසයිල පද්ධතියක් "ආසියාවේ" ස්ථානගත කිරීමේ සුදානමක්

දිනුක් හේවාවිතාරණ




යුධමය වශයෙන් චීනයේ ශක්තිමත් වීමත් සමග ආසියාව තුල සිය මිසයිල් පද්ධතියක් ස්ථානගත කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් ස්පේසර් ප්‍රකාශ කර සිටිනවා. 

ආසියානු කලාපය තුල අමෙරිකානු මධ්‍යම ප්‍රමාණයේ මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමට අමෙරිකාව බලාපොරොත්තු වෙනවාද යන්න සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ එලෙස සිදුකිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවයි. ඔහු සිය ආසියානු සංචාරය ආරම්භ කරමින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

" එය ඉක්මනින්ම සිදුකරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි, නමුත් ආසියානු කලාපය තුල මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමේ අවශ්‍යතාවයක් දැන් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මම වැඩි වශයෙන් කිසිවක් පවසන්න සුදානම් නැහැ. එය සැලසුමක් අනුව ඉදිරියේදී අදාළ රටවල් සමග සාකච්ජා කර තීරණය කිරීමට නියමිතයි" අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අමෙරිකාව සිය මධ්‍යම ප්‍රමාණයේ මිසයිල ස්ථානගත කිරීමට රුසියාව සමග ඇති කර ගෙන තිබු ගිවිසුමෙන් පසුගියදා ඉවත්වූ අතර නව මිසයිල ආරක්ෂණ පද්ධතිය ඉදි කරනුයේ ආසියාවේ කුමන රටේද යන්න සම්බන්ධයෙන් හෙළි කර සිටියේ නැහැ.