Friday, April 26, 2024

General line - 0115112241

ජම්මු හා කාශ්මීරයට ලබා දී තිබු විශේෂ ව්‍යවස්ථා වරප්‍රසාද අහිමි කෙරේ

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජම්මු කාශ්මීර ප්‍රාන්තයට ලබා දී තිබූ විශේෂ ව්‍යවස්ථා වරප්‍රසාද අහෝසි කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ, කාශ්මීරය තුළ ත්‍රස්ත අවධානම ඉහළම අදියර කරා එළඹීම හේතුවෙන්. ඒ අනුව ජම්මු කාශ්මීරයට වරප්‍රසාද ලබා දී තිබූ ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය ඉවත් කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

අදාළ වගන්තිය හරහා මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන ජම්මු කාශ්මීර ප්‍රාන්තයට සැලකිය යුතු ස්වාධීනත්වයක් ලබා දී තිබුණා. එහෙත් ජම්මු කාශ්මීරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් පවතින බවට බුද්ධි අංශ අනාවරණය කිරීමත් සමගම එහි පැමිණ සිටි සංචාරකයින් සහ වන්දනාකරුවන් ද හැකි ඉක්මනින් ප්‍රාන්තයෙන් ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. 

මේ අතර ජම්මු කාශ්මීරය ප්‍රධානව සමස්ථ රටේම ආරක්ෂාව පිළිබඳ නිකුත් කර ඇති අධි අනතුරු ඇගවීම් පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස ද ඉන්දීය රජය එරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇතැයි සඳහන්. ආරක්ෂාව සම්බන්ධයෙන් වන පූර්ව උපායන් අනුගමනය කරන ලෙසත්, අවශ්‍ය ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන ලෙසත්, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එරට සන්නද්ධ පොලිස් බලකායන්ට මෙන්ම මධ්‍යම ආරක්ෂක ඒජන්සි වෙත ද දැනුම් දී තිබෙනවා. එසේම ලබන 15 වනදාට ඉන්දියාවේ නිදහස් දිනය යෙදී ඇති බැවින් රටේ ආරක්ෂාව පිළිබඳව ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමටයි රජය පියවර ගෙන ඇත්තේ.