Tuesday, April 23, 2024

General line - 0115112241

"ටෙකීමා" නිසා මිලියනයක් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යවයි 

දිනුක් හේවාවිතාරණ




චීනයට බලපා තිබෙන "ටෙකීමා" සුළි කුණාටුව හේතුවෙන් මිලියනයකට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යැවීමට එරට බලධාරීන්ට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පැයට කිලෝමීටර් 187 ක වේගයෙන් මෙම සුළි කුණාටුව වෙන්ලිංහි හරහා අද (10) අලුයම් කාලයේදී චීනය තුලට ඇතුල්වූ බවයි කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200කට අධික වේගයක් ගනු ඇති බවට අනාවැකි පළකර තිබුනත් එහි වේගය යම් තරමින් අඩුවීමක් දක්නට ලැබූ බවයි බලධාරීන් සඳහන් කර සිටිනවා.

කෙසේ වෙතත් මේ දක්වා "ටෙකීමා" සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙක් මියගොස් ඇති බව චීනයෙන් වාර්තා වේ. මේ අතර වෙන්ෂෝ ප්‍රාන්තයේ වේල්ලක් කඩා වැටීමෙන් ඒ අසල ජීවත්වූ පුද්ගලයින් 16 දෙනෙක් අතුරුදහන්ව ඇති බව ආපදා බලධාරීන් සඳහන් කර සිටිනවා.

මේ වන විට ටෙකීමා සුළි කුණාටුව ක්‍රමක් ක්‍රමයෙන් සෙජියැන්ග් පළාත හරහා උතුරු දෙසට ගමන් කරමින් සිටින අතර, එය මිලියන 20 කට වඩා අධික ජනගහනයක් සිටින ෂැංහයි නගරයට ඇතුල් වෙනු ඇති බවයි කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රභල සුළි කුණාටුව හේතුවෙන් චීන බලධාරීන් විසින් ගුවන් ගමන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහ දුම්රිය සේවාවන් රැසක් අවලංගු කිරීමට පියවර ගනු ලැබුවා.

සුළි කුණාටුව නිසා නිවාස ලක්ෂ 27 කට විදුලි සැපයුම ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ගස් කඩා වැටීම සහ මාර්ග යටවීම් හේතුවෙන් ප්‍රවාහන කටයුතු වලට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

ටෙකීමා සුළි කුණාටුවට අමතරව චීනයේ උතුරු මරියානා සහ ගුආම් දුපත් ආසන්නයේ ඇතිවී තිබෙන " ක්‍රෝසා" සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවති. මෙම " ක්‍රෝසා" සුළි කුණාටුව ජපානයේ වයඹ දිග කලාපයට ඇතුල් වීමට ඉඩ ඇති බවයි කාලගුණ බලධාරීන් සඳහන් කර සිටින්නේ.