Thursday, April 18, 2024

General line - 0115112241

පියා මතකයට එන්නේ මැතිවරණ සමයේ විතරද - ලසන්තගේ දියණිය අගමැතිගෙන් ප‍්‍රශ්න කරයි

හේමන්ත කහවලගේ/ඩිල්ෂාන් මඩවල




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද ප‍්‍රසිද්ධියේ සමාව ගත යුතු බව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග පවසනවා.

ඇය මේ බව පවසන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඔවුන් බලයේ සිටි සමයේ සිදු කළ ඝාතන ඇතුළු අපරාධවලට සමාව ගන්නේදැයි අග‍්‍රාමාත්‍යවරයා ඊයේ කළ ප‍්‍රශ්න කිරීමක් උපුටා දක්වමින් මෙම ලිපිය යොමුකර තිබෙනවා.

තම පියාණන් වන මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනය ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් කළ එක් අපරාධයක් විය යුතු බවයි අහිම්සා වික‍්‍රමතුංග පවසන්නේ. තම පියාණන්ගේ ඝාතනය මැතිවරණවලදී ඡන්ද ගැනීමට සටන්පාඨයක් කරගත් අග‍්‍රාමාත්‍යවරයා තම පියාණන්ගේ ඝාතකයන්ට දඩුවම් ලබාදීමට ප‍්‍රමාණවත් උනන්දුවක් නොදැක් වූ බවද ඇය එම ලිපියේ දක්වා තිබෙනවා.  

බලයේ සිටි ඉකුත් වසර හතර හමාරක කාලයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් ආරක්ෂා කළ බවට ද ඇය චෝදනා කරනවා. මෙම අපරාධය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීමට මැදිහත් වන්නැයි තමන් පෞද්ගලිකව ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට වඩා වෙනස් ප‍්‍රමුඛතා තිබෙන බව පවසමින් අග‍්‍රාමාත්‍යවරයා එය මගහැරි බවයි අහිම්සා වික‍්‍රමතුංග සිය ලිපියෙන් වැඩිදුරටත් පවසන්නේ. 

දැන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සිය පියාගේ ඝාතනය යළිත් සිහිපත් වී ඇත්තේ ජනාධිපතිවරණයක් ළග එන නිසා විය හැකි බවද එම ලිපිය මගින් ප‍්‍රකාශ කර තිබෙනවා. එසේ තිබියදීත් අග‍්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී, අමාත්‍ය සාගල රත්නායක ඇතුළු අග‍්‍රාමාත්‍යවරයාගේ සමීපතමයින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සුවදුක් බැලීමටද යමින් ඔහුට හිතවත්ව කටයුතු කරන බවයි ඇය පවසන්නේ.

දැන් තමන්ට ඇති එකම බලාපොරොත්තුව සාධාරණය වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටින සැබෑ රාජපක්ෂ විරෝධියෙකු ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම බවද අහිම්සා වික‍්‍රමතුංග අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ දක්වා තිබෙනවා.