Friday, April 19, 2024

General line - 0115112241

වනඅලි පිළිබඳ සමීක්ෂණයක් සැළසුම් කරයි - උනන්දුවක් දක්වන අයට එක්වීමට අවස්ථාව

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින දිවයිනම ආවරණය වන පරිදි වනඅලි සමීක්ෂණයක් ක‍්‍රියාත්මක කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. සමීක්ෂකයින් 7,316ක් ඒ සඳහා සහභාගී වීමට නියමිත බවයි වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ.

වනඅලි ගැවසෙන ප‍්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි සමීක්ෂණ ස්ථාන 2,229ක දී එම සමීක්ෂකයින් දත්ත රැස් කිරීමට නියමිතයි. මෙම සමීක්ෂණයේ අරමුණු පිළිබඳ කරුණු පැහැදිලි කළ වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර කියා සිටියේ අලි බෝවීම පිළිබඳ තොරතුරු, අලින්ගේ ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු ආදී අංශ ගණනාවක් ආවරණය වන පරිදි මෙම තොරතුරු එක්රැස් කිරීම සිදු කරන බවයි.

අවසන් වරට වනඅලි සමීක්ෂණයක් සිදු කෙරුණේ 2011 වසරේ අගෝස්තු මාසයේදීයි. එහිදී ලබාගත් තොරතුරු අනුව ශ‍්‍රී ලංකාවේ අවම වනඅලි ගහණය 5,879ක් ලෙස වාර්තා වුණා. 2011 වසරේ සිදු කෙරුණු සමීක්ෂණයේදී උතුරු නැගෙනහිර ඇතැම් ප‍්‍රදේශවල සමීක්ෂකයින් යෙදවීම සිදුනොවූ අතර මෙවර එම කලාප ද ආවරණය වන පරිදි සමීක්ෂකයින් යෙදවීමට කටයුතු කරන බව වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවා. මෙම සමීක්ෂණයට විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, රාජ්‍ය නොවන සංවිධාන හා මේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එක්විය හැකියි. 0112 888 585 දරණ දුරකතන අංකයෙන් ඒ පිළිබඳ විස්තර ලබාගත හැකි වනවා.