පවතින වර්ෂාවත් සමග කළු ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් තිබෙනවා. මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එහි ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ ආර්. එම්. එම්. ආර්. අලවතුගොඩ සඳහන් කළේ එම ස්ථානයෙන් ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බවයි.
මිල්ලකන්ද ප්‍රදේශයේ සුළු ගංවතුර සීමාව මීටර් 6.5 ක්. එහි ජල මට්ටම මේ වනවිට මීටර් 6.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කළු ගගේ ජල මට්ටම පුටුපවුල ප්‍රදේශයෙන්ද අවදානම් තත්ත්වයකට පත්වෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවතින වැසි තත්ත්වයත් සමග කළු ගගේ ජල මට්ටම සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
කෙසේවෙතත් රත්නපුර ප්‍රදේශයේදී කළු ගගේ ජල මට්ටම ඉහළ යාමේ අවදානම් තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බවත් කැළණි, ගිං සහ නිල්වලා යන ගංගා මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේද වැසි අපේක්ෂා කරන බවයි.
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක්ද පවතිනවා. පොතුවිල් සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද ක්ෂණිකව වැඩිවිය හැකි බවටයි මෙහිදි අනතුරු අඟවා සිටියේ. කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.