Thursday, April 18, 2024

General line - 0115112241

එජාප අපේක්ෂකයා ගැන එක්සත් ජාතික පෙරමුණේ එකඟතාවය කුමක්දැයි මනෝ පැහැදිළි කරයි

සජිත් තිලකරත්න




එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට සිය සහාය දැක්වීමට එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්‍ෂ එකඟතාවකට පැමිණ තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයින් තීරණය කර ඇත්තේ පොදු අපේක්‍ෂකයෙකුට නොව එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයෙකුට සහාය දීමටයි. එම පෙරමුණ නියෝජනය කරන අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ ලබන සෙනසුරාදා නව සන්ධානය සම්බන්ධයෙන්ද අවසන් තීරණයකට එළඹෙන බවයි. 

ජනාධිපති අපේක්‍ෂකයා රටට ඉදිරිපත් කරන දිනය සම්බන්ධයෙන්ද ලබන සෙනසුරාදා තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා නොවුණහොත් ඔහු වෙනත් පක්‍ෂයකින් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි කර ඇති ප‍්‍රකාශයටද අමාත්‍ය මනෝ ගනේෂන් මෙහිදි ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී "වෙනත් පක්ෂයකින් ඡන්දෙ ඉල්ලනවා කියලා එයාගේ වටේ ඉන්න අය කියනවා ඇති.  හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා එහෙම කියලා තියෙනවාද කියලා මම දන්නේ නෑ. වටේ ඉන්න අය කියන කතාවලට අපිට කරන්න දෙයක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ බහුතරය සජිත් ප්‍රේමදාස මහතාට කැමැත්තක් දක්වනවා නම් එතුමාගේ නම සඳහන් වෙයි." යනුවෙන් සඳහන් කළා.

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානය අගෝස්තු මාසය අවසන්වීමට පෙර බිහිකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා. කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ලබන 25 වනදා බොහෝ දුරට නව සන්ධානය එළි දකිනු ඇති බවයි. ජනාධිපති අපේක්‍ෂකයාද එහිදී එළිදක්වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.