Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දීය අගමැතිගේ නිදහස් දින ප‍්‍රකාශයෙන් කාශ්මීර අර්බුදය උග‍්‍ර අතට

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මීට පෙර පැවැති කීර්තිමත් තත්ත්වය යළිත් කාශ්මීරයට ගෙන දෙන බවට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය වැසියන් වෙත අද (15) ප‍්‍රතිඥාවක් ලබා දුන්නා.  ඒ, අදට යෙදී ඇති ඉන්දියාවේ 73 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතිය අමතමින් සිදු කළ ප‍්‍රකාශයේදීයි.

කාශ්මීරය නගා සිටුවීම ජාතියේ සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යය භාර්යයක් වනු ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. කාශ්මීරයට ලබා දුන් ව්‍යවස්ථා වරප‍්‍රසාද මගින් දූෂණයට අනුබල දීමක් පමණක් සිදුවූ බවට ද අග‍්‍රාමාත්‍යවරයා චෝදනා කළා. 

මේ අතර ති‍්‍රවිධ හමුදාව වෙනුවෙන් ආරක්ෂක ප‍්‍රධානී තනතුරක් ඇති කිරීමට තීරණය කර ඇති බවද ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී ප‍්‍රකාශ කළා. ඉන්දියාවේ ති‍්‍රවිද හමුදාව සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වගකියන නමුත් නව ආරක්ෂක ප‍්‍රධානී තනතුර උපදේශක සේවාවක් ලෙස කි‍්‍රයාකරනු ඇති බවයි අග‍්‍රාමාතවරයා පෙන්වා දුන්නේ. ඉන්දීය ති‍්‍රවිධ හමුදාව වෙනුවෙන් ආරක්ෂක ප‍්‍රධානී තනතුරක් ඇති කිරීම පිලිබඳ 1999 වසරේ සිට රට තුළ කථිකාවක් පැවතුණා.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කාශ්මීරය පිළිබද අද මෙලෙස අදහස් පළ කළේ පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (14) දිනයට යෙදී තිබූ සිය නිදහස් දිනයේදී කාශ්මීරය සම්බන්ධයෙන් මතභේදාත්මක ප‍්‍රකාශයක් සිදුකර තිබියදීයි.

පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එහිදී අවධාරණය කළේ කාශ්මීර කලාපය තුළ අපේක්‍ෂිත ඕනෑම ඉන්දීය ආක‍්‍රමණයකට ප‍්‍රතිචාර දැක්වීමට සිය හමුදාව සූදානමින් පසුවන බවයි. දිල්ලියට පාඩමක් ඉගැන්වීමට සූදානම් බවටද පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා අනතුරු අගවා තිබෙනවා.