Friday, April 19, 2024

General line - 0115112241

එංජිමේ කුරුල්ලෙක් වැදීමෙන් කාර්මික දෝෂයකට ලක්වූ ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට  (PHOTOS / VIDEO)

දිනුක් හේවාවිතාරණ




උඩු ගුවනේදී කුරුල්ලෙකු වැදීම හේතුවෙන් මගීන් 233 දෙනෙක් රැගත් ගුවන් යානයක හටගත් කාර්මික දෝෂයක් නිසා සිදුවන්නට ගිය විශාල ජිවිත විනාශයක් එම යානය පැදවූ ගුවන් නියමුවාගේ දක්ෂකමින් වලක්වා ගැනීමට හැකිවූ පුවතක් වාර්තා වෙනවා.

මගින් 233 දෙනෙක් සමග රුසියාවේ ෂුකොව්ස්කි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ගමන් අරඹා තිබු බෝයිං 321 වර්ගයේ මෙම ගුවන් යානය සිය ගමන අරඹා සුළු මොහොතකින් එහි එංජිමේ පක්ෂින් රෑනක් වැදීමත් සමග හදිසි කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

යානය යළි ෂුකොව්ස්කි ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත හරවා ගෙන ඒමට ගුවන් නියමුවා කටයුතු කිරීමට උත්සහ දැරුවත් ඇතිවූ හදිසි තත්ත්වය මත ඔහු ඒ අසල පිහිටි බඩ ඉරිඟු වගා කර තිබු බිමකට ගුවන් යානය හදිසි ගොඩබෑමට පියවර ගෙන ඇත.

හදිසි ගොඩබෑම නිසා ඇතිවූ තෙරපීම හේතුවෙන් ගුවන් යානයේ සිටි මගින් 23 දෙනෙක් තුවාල ලබා ඇති බවත් අනෙක් මගින් ආරක්ෂිතව සිටින බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

යම් හෙයකින් මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමක් සිදු නොකලා නම් කඩා වැටීමට ඉඩ තිබු බවත් ගුවන් නියමුවාගේ දක්ෂකම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල ජිවිත හානියක් වලක්වා ගැනීමට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.

2009 වර්ෂයේදී අමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක එංජිමේ කුරුල්ලෙකු වැදීමෙන් පසු එම ගුවන් නියමුවා විසින් සිය ගුවන් යානය මගින් සමග හඩ්සන් ගංගාවට හදිසි ගොඩබෑමක් සිදුකිරීමේ සිදුවීම හා සමාන සිද්ධියක් ලෙසයි ඇතැම් විදෙස් මාධ්‍යයන් විසින් මෙය වාර්තා කර සිටියේ.