Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දු-පාකිස්ථාන දේශ සිමාවේ ගැටුම් වලින් දෙපාර්ශවයටම හානි 

දිනුක් හේවාවිතාරණ




අර්බුධයකට තුඩු දී තිබෙන ඉන්දු පාකිස්ථාන සම්බන්ධතාවය ත්‍රිව කරමින් ඊයේ (15) දිනයේදී කාශ්මීර දේශ සීමාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඉන්දීය සෙබළුන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බව පාකිස්ථාන යුධ හමුදාව නිවේදනය කර සිටිනවා.

පාකිස්ථාන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගෆුර් ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එම ගැටුමින් සිය හමුදා සාමාජිකයින් තිදෙනෙකුද ජිවිතක්ෂයට පත්වූ බවයි. එමෙන්ම දේශ සීමාව ආශ්‍රිතව මේ වන විට දිගින් දිගටම ඉන්දීය හමුදාව සහ පාකිස්ථාන සෙබළුන් අතර වෙඩි හුවමාරුවීම් සිදුවන බවටද ඔහු සඳහන් කර සිටිනවා.

කෙසේ වෙතත් පාකිස්ථාන යුධ හමුදාව සඳහන් කර සිටින ආකාරයට ගැටුම් වලින් සිය හමුදා සාමාජිකයින් පස් දෙනෙකු මියගිය පුවත ප්‍රතික්ෂේප කරන බවයි ඉන්දීය යුධ හමුදාව උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වෙතත් දෙපාර්ශවයේ වෙඩි හුවමාරුව හේතුවෙන් තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් දෙදෙනෙක් මියගොස් ඇති බව කාශ්මීර පොලිසිය උපුටා දක්වමින් අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

පසුගිය සතියේදී ඉන්දියාව විසින් කාශ්මීරයට ලබාදී තිබු ව්‍යවස්ථාමය විශේෂ වරප්‍රසාධ ඉවත් කිරීමට ගනු ලැබූ තීරණයත් සමග ඉන්දු-පකිස්ථාන අර්බුධය නව මානයකට එළැඹ තිබෙනවා. 

මේ අතර පාකිස්ථානය විසින් ඉන්දීය නළු නිලියන් සහ නිරූපණ ශිල්පින් ඇතුලත් සියලුම වෙළද දැන්වීම් සහ චිත්‍රපට විකාශනය අත්හිටුවීමට ඊයේ සිට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිසිදු පාකිස්ථාන මාධ්‍ය ආයතනයක හෝ අන්තර්ජාල සේවා පහසුකම් සපයන්නන් විසින් ඉන්දීය නළු නිලියන් හෝ නිරූපණ ශිල්පීන් සිටින වෙළද දැන්වීම්, චිත්‍රපට සහ නාට්‍ය විකාශනය අත්හිටුවීම සිදුකළ යුතු බවයි එරට මාධ්‍ය ආයතන වාර්තා කර සිටියේ.